සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
2. වේදනා සංයුත්තය
1. සගාථ වර්‍ගය
5. දටඨබබ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ‘මහණෙනි’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, මේ වේදනා තුනකි. කවර තුනක්ද යත්, සැප වේදනාවය, දුක් වේදනාවය, දුකද නොවූ සැපද නොවූ වේදනාවය යන තුනයි. මහණෙනි, සැප වේදනාව දුක් වශයෙන් දත යුතුය. දුක් වේදනාව හුලක් වශයෙන් දත යුතුය. උපෙක්‍ෂා වේදනාව අනිත්‍ය වශයෙන් දතයුතුය. මහණෙනි, යම් තැනක පටන් භික්‍ෂුව විසින් සැප වේදනාව දුක් වශයෙන් දක්නා ලද්දේවේද, දුක් වේදනාව හුලක් වශයෙන් දක්නා ලද්දේවේද, උපෙක්‍ෂා වේදනාව අනිත්‍ය වශයෙන් දක්නා ලද්දේවේද, මහණෙනි, මේ මහණතෙම යහපත්සේ දුටුයේ තෘෂ්ණාව සින්දේය. සංයෝජනය බහා දැම්මේය. මනාකොට මානයාගේ ප්‍රහාණයෙන් දුක් කෙළවර කෙළේය.,
යමෙක් සැප දුක වශයෙන් දුටුයේද, දුක හුලක් වශයෙන් දුටුයේද, ශාන්තවූ උපෙක්‍ෂාව අනිත්‍ය වශයෙන් දුටුයේද,
ඒකාන්තයෙන් ඒ යහපත්සේ පෙනෙන භික්‍ෂුතෙම වේදනාවන් පිරිසිඳ දනී. හෙතෙම වේදනා පිරිසිඳ දැන මේ ආත්මයෙහි ආශ්‍රව රහිත වූයේ ධර්‍මයෙහි පිහිටියේ නුවණින් කෙළවරට ගියේ ශරීරයාගේ බිඳීමෙන් සත්ත්‍වයා යන සංඛ්‍යාවට නොපැමිණෙයි.