සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
3. මාතුගාම සංයුත්තය
1. පළමුවෙනි වර්ගය
1. මනාපා’මනාප සූත්‍රය (1)
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ත්‍රිය පුරුෂයාට ඒකාන්තයෙන් අමනාපවේ. කවර කරුණු පසකින්දයත්, රූමත් නොවේද? ධනවත් නොවේද? සිල්වත් නොවේද? අලස වෙයිද? දරුවන් නොලබයිද? මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ස්ත්‍රිය පුරුෂයාට ඒකාන්තයෙන් අමනාප වේ.
[3] “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ත්‍රිය පුරුෂයාට ඒකාන්තයෙන් මනාප වේ. කවර පසකින්ද යත් රූමත් වේද, ධනවත් වේද, සිල්වත් වේද, අලස නොවූයේ දක්ෂ වේද, දරුවන් ලබයිද, මහණෙනි, මේ අඩ්ග පසින් යුක්තවූ ස්ත්‍රිය පුරුෂයාට ඒකාන්තයෙන් මනාප වේ.