සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

4. ජම්බුඛාදක සංයුත්තය

2. අරහත්ත සූත්‍රය

(මේ වර්ගයේ සූත්‍ර සියල්ල පළමුවෙනි සූත්‍රය මෙන් මගධ ජනපදයෙහි නාලක ගමෙහිදී දේශනා කරනලදී.)

“ඇවැත් ශාරිපුත්‍රය, රහත් බව රහත් බවයයි කියනු ලැබේ ඇවැත්නි, රහත් බව නම් කවරේද?”

“ඇවැත්නි, යම් රාගය ක්ෂය කිරීමක් වේද, ද්වේෂය ක්ෂය කිරීමක් වේද, මොහය ක්ෂය කිරීමක් වේද, මේ රහත් බවයයි කියනු ලැබේ.”

“ඇවැත්නි, මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීමට මාර්ගයක් ඇත්තේද? ප්‍රතිපදාවක් ඇත්තේද?”

“ඇවැත්නි මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීමට මාර්ගයක් ඇත්තේය. ප්‍රතිපදාවක් ඇත්තේය.”

“ඇවැත්නි මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීමට ඇති මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කවරීද?”

“ඇවැත්නි, මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස මේ අංග අටක් ඇති ආර්ය මාර්ගය වෙයි. ඒ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොහුයි. ඇවැත්නි, මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස මේ මාර්ගය වෙයි. මේ ප්‍රතිපදාව වෙයි.” “ඇවැත්නි, රහත් බව ප්‍රත්‍යක්ෂකිරීම පිණිස මෙය යහපත් මාර්ගයයි. යහපත් ප්‍රතිපදාවකි.

“ඇවැත් ශාරිපුත්‍රය, මෙය අප්‍රමාදය පිණිස සුදුසු ද වේ.”