සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
8. ගාමණී සංයුත්තය
13. පාටලිය සූත්‍රය
ඉක්බිති පාටලිය නම් ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් පාටලිය ගාමිණිතෙම ‘ස්වාමීනි, මා විසින් ශ්‍රමණ ගෞතමතෙම මායා දනීයයි අසනලදී. ස්වාමීනි, යම් ඒ කෙනෙක් ශ්‍රමණ ගෞතමතෙම මායා දනීයයි කීවාහුද? ස්වාමීනි, කිමෙක්ද ඔව්හු භාග්‍යවතුන් වහන්සේ වදාරණ ලද්දක් කියන්නාහුද භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් චෝදනා කරන්නාහු නොවෙත්ද? ධර්මයට අනුකූලවූ දෙයක් කියන්නාහුද, කරුණු සහිත වාදයකින් ගැරහිය යුතු තැනට නොපැමිණෙයිද? ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේට චෝදනා කිරීමට නොකැමැත්තෝ වෙමුයි” කීය.
“ගාමණිය, යම් ඒ කෙනෙක් ‘ශ්‍රමණ ගෞතමතෙම මායා දනීයයි’ කීවාහුද, ඔව්හු මා විසින් කියන ලද්දක්ම කියන්නාහුය. මා බොරුවෙන් චොදනා කරන්නහු නොවෙත් ධර්මයට අනුකූල දෙයක් කියන්නාහුය. කිසියම් කරුණු සහිත වාදයක් ගැරහිය යුතු තැනට නොපැමිණෙයි. ‘පින්වත ශ්‍රමණ ගෞතමතෙම මායාදනී ශ්‍රමණ ගෞතමතෙම මායා ඇත්තෙකැයි’ඒ ශ්‍රමණබ්‍රාහ්මණයන්ගේ කීම ඇත්තක්ම වුවත් නොඅදහවු. ගාමණිය, මම මායා දනිමියි යමෙක් කියයි නම් හෙතෙමද මම මායා ඇත්තෙකැයිද, මෙසේ කියන්නේද? “භාග්‍යවතුන් වහන්ස, එය එසේමය සුගතයන් වහන්ස එය එසේමවෙයි”, “ගාමණිය, එසේනම් මෙය තගෙන්ම අසමි. තොපට යම්සේ වැටහේ නම් එසේ ප්‍රකාශ කරන්නෙහිය.
“ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද? ගාමණිය, ඔබ කොලිය රජදරුවන්ගේ ලම්බචූලක නම් භටයන් දන්නෙහිද?” “ස්වාමීනි, මම කොලිය රජ දරුවන්ගේ ලම්බචූලක භටයන් දන්නෙමි.”
“ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද? කොලිය රජ දරුවන්ගේ ලම්බචුලක භටයෝ කුමක් සඳහාද?” - “ස්වාමීනි, යම් කොලියරට සොරුන් වෙත්ද, ඔවුන් වැළැක්වීමත් කොලිය රජ දරුවන්ගේ යම් පණිවුඩ පණත් ඇත්ද එය ගෙනයාම සඳහාත් යන මේ කරුණු පිණිස කොලියයන්ගේ භටයෝ වෙති.”
“ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද?” “කොලියයන්ගේ ලම්බචූලක භටයන් සීලවන්තද, දුශ්ශීලදැයි ඔබ දන්නෙහිද?” “ස්වාමීනි, මම කොලියයන්ගේ ලම්බචූලක භටයන් දුශ්ශීල පාපයන් යයි දනිමි.” “ලොකයෙහි දුශ්ශීලවූ ලාමක ස්වභාව ඇති යම් කෙනෙක්වේද කොලියයන්ගේ ලම්බචූලක භටයෝ ඔවුන්ගෙන් එක්තරා කොටසකි.” “ගාමණිය, යමෙක් පාටලිය ගාමණිතෙම කොලියයන්ගේ දුශ්ශීලවූ ලාමකස්වභාව ඇති ලම්බචූලක භටයන් දනී. පාටලී ගාමණිතෙමේද දුශ්ශීලයෙහි ලාමක ධර්ම ඇත්තෙකැයි මෙසේ කියන්නේ නම් ඔහුගේ කීම හරිදැයි” ඇසූහ. “ස්වාමීනි, නැත කොලියයන්ගේ ලම්බචූලක භටයෝ අන්‍යයෝය. මම අනිකෙක්වෙමි. කොලියයන්ගේ ලම්බචූලක භටයෝ අන්‍ය ස්වභාව ඇත්තාහ. මම අනික් ස්වභාවයක් ඇත්තෙක්මි” “ගාමණිය, ඔබ දුශ්ශීලවූ ලාමක ස්වභාව ඇත්තාවූ කොලිය භටයන් පාටලිය ගාමණිතෙම දනියි. පාටලිය ගාමණිතෙම දුශ්ශීල නොවූ ලාමක ස්වභාව නැත්තෙක යන මෙය ලබන්නෙහි නම් තථාගත තෙමේ මායා දනී තථාගත තෙමේ මායා ඇත්තෙක් නොවේය යන මෙය කුමක් හෙයින් තථාගතතෙම නොලබන්නේද?
“ගාමණිය, මම මායාද දනිමි. මායාවගේ විපාකයන් දනිමි. යම්සේ පිළිපන් මායා සහිත පුද්ගලතෙමේ කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද, එයද දනිමි. ගාමණිය මම ප්‍රාණඝාතයද දනිමි. ප්‍රාණඝාතයාගේ විපාකයන් දනිමි. යම්සේ පිළිපන් ප්‍රාණඝාතක පුද්ගලතෙමේ කය බිඳීමෙන් මරණින් මතුසැපයෙන් පහවූ නපුරු ගතිඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද එයද දනිමි. ගාමණිය, මම අදින්නාදානයද දනිමි. අදින්නාදානයේ විපාකත් දනිමි. යම්සේ පිළිපන් අදින්නාදානයෙන් යුත් පුද්ගලයා කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද, එයද දනිමි. ගාමණිය, මම කාමයන්හි වරදවා හැසිරීමත් දනිමි. කාමමිථ්‍යාචාරයාගේ විපාකයත් දනිමි යම්සේ පිළිපන් කාමමිථ්‍යාචාරී පුද්ගල තෙමේ කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද, එයද දනිමි. ගාමණිය, මම මුසාවාදයද දනිමි. මුසාවාදයේ විපාකයත් දනිමි. යම්සේ පිළිපන් මුසාවාදී පුද්ගලතෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරුගති ඇති දුකට පැමිණෙන, නිරයෙහි උපදීද, එයද දනිමි. ගාමණිය මම කේළාම් කීමද දනිමි. කේළාම් කීමේ විපාකත් දනිමි. යම්සේ පිළිපන් කේළාම් කියන පුරුෂතෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද, එයද දනිමි. ගාමණිය, මම ඵරුෂ වචනයද, දනිමි. ඵරුෂ වචනයේ විපාකත් දනිමි යම්සේ පිළිපන් ඵරුෂවචන කියන පුද්ගලතෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද, එයද දනිමි. ගාමණිය, මම ප්‍රලාපකීමද දනිමි. ප්‍රලාපකීමේ විපාකත් දනිමි. යම්සේ පිළිපන් ප්‍රලාප කියන පුද්ගලතෙම කය බිඳීමෙන් මරණින්මතු සැපයෙන් පහවූ නපුරු ගතිඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද, එයද දනිමි. ගාමණිය, මම දැඩිලොභයත් දනිමි. දැඩි ලොභයාගේ විපාකත් දනිමි. යම්සේ පිළිපන් දැඩිලොභයාගෙන් යුත් පුද්ගලතෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද, එයද දනිමි. ගාමණිය, මම ව්‍යාපාද ද්වේෂයත් දනිමි. ව්‍යාපාද ද්වේෂයේ විපාකත් දනිමි. යම්සේ පිළිපන් ව්‍යාපාද ද්වේෂයෙන් යුත් පුද්ගලයා කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද, එයද දනිමි. ගාමණිය, මම මිථ්‍යා දෘෂ්ටියද දනිමි. මිථ්‍යා දෘෂ්ටියේ විපාකත් දනිමි. යම්සේ පිළිපන් මිථ්‍යාදෘෂ්ටියෙන් යුත් පුද්ගල තෙම කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති දුකට පැමිණෙන නිරයෙහි උපදීද, එයද දනිමි.
“ගාමණිය, යම් කිසිවෙක් සතුන් මරයිද ඒ හැමදෙනා මෙලොවම දුකත් දොම්නසත් විඳිත්, යම් කිසිවෙක් සොරකම් කරයිද ඒ හැමදෙන මෙලොවම දුකත් දොම්නසත් විඳිත්, යම් කිසිවෙක් කාමයන්හි වරදවා හැසිරෙයිද, ඒ හැමදෙන මෙලොවම දුකත් දොම්නසත් විඳිත්. යමෙක් බොරු කියයිද ඒ හැමදෙන මෙලොවම දුකත් දොම්නසත් විඳිත්. මෙසේ කියන්නාවූ, මෙබඳු දුෂ්ටි ඇත්තාවූ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහුය.
“ගාමණිය, මේ ලෝකයෙහි මාලා පැළඳගෙන කුණ්ඩලාභරණ පැළඳගෙන මනාකොට ස්නානය කළ සුවඳ විලවුන් ගැල්වූ කපනලද හිසකෙස් දැලිරැවුල් ඇති රජුන් මෙන් ස්ත්‍රීන් සමග කම්සැප විඳින පුරුෂයෙක් දක්නා ලැබේ. ඔහු ගැන ‘පින්වත්නි, මේ පුරුෂතෙම මාලා පැළඳ කුණ්ඩලාභරණ පැළඳ මනාකොට ස්නානය කොට සුවඳ විලවුන් ගල්වා කපන ලද කෙස් දැලිරැවුල් ඇතිව රජෙකු මෙන් ස්ත්‍රීන් සමග සැප විඳින පුරුෂතෙමේ කුමක් කෙළේදැයි’ අසන්නහු නම් ‘පින්වත්නි, මේ පුරුෂතෙම රජහුගේ සතුරෙකු යටත් කර ජීවිතයෙන් තොර කළේ යයි’ කියන්නාහුය. ‘රජු ඔහුට සතුටුව වස්තුව දුන්නේය. එහෙයින් මේ පුරුෂතෙම මාලා පැළඳ කුණ්ඩලාභරණ පැළඳ මනාකොට ස්නානය කොට සුවඳ විලවුන් ගල්වා කපනලද කෙස් දැලිරැවුල් ඇතිව රජකු මෙන් ස්ත්‍රීන් සමග සැප විඳින්නේයයි’ කියන්නාහුය.
“ගාමණිය, මේ ලෝකයෙහි ඇතැමෙක් දැඩි රැහැණකින් දෙඅත් පිටිකරට දැඩිකොට බැඳ හිස මුඩුකොට රළු ශබ්දය ඇති බෙර හඬින් වීථියෙන් වීථියට සන්ධියෙන් සන්ධියට ගෙන ගොස් දකුණු දොරටුවෙන් නික්මවා නුවරට දකුණු දිසාවෙහි හිස සිඳිනු ලබන්නෙක් දක්නා ලැබේ.
“පින්වත්නි, දැඩි රැහැණින් අත් පිටිකරට තබා බැඳ හිස මුඩුකොට ක්‍රෑර ශබ්ද ඇති බෙර හඬින් වීථියෙන් වීථියට සන්ධියෙන් සන්ධියට ගෙන ගොස් දකුණු දොරටුවෙන් නික්මවා නුවරට දකුණු දිශාවෙහි හිස සිඳිනු ලබන මේ පුරුෂයා කුමක් කෙළේදැයි කියන්නාහු නම් පින්වත්නි, මේ පුරුෂතෙම රජුන්ගේ සතුරෙකි. ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ ජීවිතයෙන් තොර කළේය. එහෙයින් ඔහු රජහු අල්වා ගෙන මෙබඳු දඬුවමක් කරවත්යයි කියන්නාහුය.
“ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද? තොප විසින් මෙබන්දක් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වෙයිද?” - “ස්වාමීනි, අප විසින් දක්නා ලද්දේද වෙයි. අසන ලද්දේද වෙයි. අසනු ලබන්නේද වේයයි” කීය.
“ගාමණිය, යම් කිසිවෙක් ප්‍රාණඝාත කරයිද, ඒ හැමදෙන මෙලොවම දුකක් දොම්නසක් විඳිත්යයි මෙසේ කියන්නාවූ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද, ඔව්හු සත්‍යයක් හෝ බොරුවක් හෝ කීවාහුද?” - “ස්වාමීනි. බොරුවකි.”
“යම්බඳු ඔව්හු හිස්වූවක් මුසාවක් කියත් නම් ඔව්හු සීලවන්තයෝද, දුශ්ශීලයෝද?” - “ස්වාමීනි, දුශ්ශීලයෝය.”
“දුශ්ශීල ලාමක ස්වභාව ඇති ඔව්හු වරදවා පිළිපන්නාහුද, යහපත්ව පිළිපන්නාහුද?” - “ස්වාමීනි, වරදවා පිළිපන්නාහුය.”
“වරදවා පිළිපන් ඔව්හු මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහුද සම්‍යක් දෘෂ්ටි ඇත්තාහුද?” - “ස්වාමීනි, මිථ්‍යා දෘෂ්ටි ඇත්තාහු.”
“යම් කෙනෙක් මිථ්‍යාදෘෂ්ටික නම් ඔවුන් කෙරෙහි පහදින්නට සුදුසුද?” - “ස්වාමීනි, නුසුදුසුය.”
“ගාමණිය, මේ ලෝකයෙහි මාලා පැළඳ කුණ්ඩලාභරණ පැළඳ, මනාකොට ස්නානය කළ, සුවඳවලින් ගැල්වූ, කපන ලද හිස කෙස් දැලි රැවුල් ඇති රජකු මෙන් ස්ත්‍රීන් හා පස්කම් සැප විඳින ඇතැම් පුද්ගලයෙක් දක්නා ලැබේ.
‘පින්වත, මාලා පැළඳ, කුණ්ඩලාභරණ පැළඳ, මනා කොට සුවඳවලින් ගැල්වූ, කපන ලද හිසකෙස් දැලිරැවුල් ඇති රජකුමෙන් ස්ත්‍රීන් හා කම්සැප විඳින ඒ පුරුෂතෙමේ කුමක් කෙළේදැයි අසන්නාහු නම්, පින්වත්නි, මේ පුරුෂතෙම රජුගේ සතුරකු යටපත්කර ධනය ගත්තේය.
‘රජතෙම ඔහුට සතුටුව වස්තුව දුන්නේය. එහෙයින් මේ පුරුෂතෙම මාලා පැළඳ, කුණ්ඩලාභරණ පැළඳ, මනාකොට සුවඳවලින් ගැල්වූ, කපන ලද හිස කෙස් දැලිරැවුල් ඇති රජකු මෙන් ස්ත්‍රීන් සමග කම්සැප විඳින්නේ යයි’ කියන්නාහුය.
“ගාමණිය, මේ ලෝකයෙහි ඇතැමෙක් දැඩි රැහැණින් දෙඅත් පිටිකරට දැඩිකොට බැඳ, හිස් මුඩුකොට, රළු ශබ්දය ඇති බෙරහඬින්, වීථියෙන් වීථියට, සන්ධියෙන් සන්ධියට, ගෙන ගොස් දකුණු දොරටුවෙන් නික්මවා නුවරට දකුණු දිශාවෙහි හිස සිඳිනු ලබන්නෙක් දක්නා ලැබේ.
‘පින්වත්නි, දැඩි රැහැණින් අත් පිටිකරට තබා බැඳ, හිස මුඩුකොට, ක්‍රෑර ශබ්ද ඇති බෙර හඬින්, වීථියෙන් වීථියට, සන්ධියෙන් සන්ධියට ගෙන ගොස් දකුණු දොරටුවෙන් නික්මවා නුවරට දකුණු දිශාවෙහි හිස සිඳිනු ලබන මේ පුරුෂයා කුමක් කෙළේදැයි’ කියන්නාහු නම් ‘පින්වත්නි මේ පුරුෂතෙම ගමින් හෝ වනයෙන් හෝ නුදුන් දෙය හොරෙන් ගත්තේය. එහෙයින් ඔහු රජහු අල්වා ගෙන මෙබඳු දඬුවමක් කරවත්යයි’ කියන්නාහුය.
“ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද? තොප විසින් මෙබන්දක් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වෙයිද?” - “ ස්වාමීනි, අප විසින් දක්නා ලද්දේද වෙයි අප අසන ලද්දේද, වෙයි. අසනු ලබන්නේද වේයයි” කීය.
“ගාමණිය, එහි යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් යම් කිසිවෙක් සොරකම් කරයිද ඒ හැමදෙන මෙලොවටම දුකක් දොම්නසක් විඳිත්යයි මෙසේ කියන්නාහුද මෙබඳු දෘෂ්ටි ඇත්තාහුද ඔව්හු සත්‍යයක් හෝ බොරුවක් හෝ කීවාහුද?” -“ස්වාමීනි බොරුවකි.”
“යම්බඳු ඔව්හු හිස්වූවක් මුසාවක් කියත් නම් ඔව්හු ශීලවන්තයෝද, දුශ්ශීලයෝද?” - “ස්වාමීනි දුශ්ශීලයෝය.”
“දුශ්ශීල ලාමක ස්වභාව ඇති ඔව්හු වරදවා පිළිපන්නාහුද යහපත්ව පිළිපන්නාහුද?” - “ස්වාමීනි, වරදවා පිළිපන්නාහුය.”
“වරදවා පිළිපන් ඔව්හු මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහුද, සම්‍යක් දෘෂ්ටි ඇත්තාහුද?” - “ස්වාමීනි, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහුය.”
“යම් කෙනෙක් මිථ්‍යාදෘෂ්ටික නම් ඔවුන් කෙරෙහි පහදින්නට සුදුසුද?” - “ස්වාමීනි නුසුදුසුය.”
“ගාමණිය, මේ ලෝකයෙහි මාලා පැළඳ කුණ්ඩලාභරණ පැළඳ, මනාකොට ස්නානය කළ, සුවඳවලින් ගැල්වූ කපන ලද හිස කෙස් දැලිරැවුල් ඇති රජකු මෙන් ස්ත්‍රීන් හා කම්සැප විඳින ඇතැම් පුරුෂයෙක් දක්නා ලැබේ.
“පින්වත්නි, මාලා පැළඳ කුණ්ඩලාභරණ පැළඳ, මනා කොට ස්නානය කළ, සුවඳවලින් ගැල්වූ, කපන ලද හිසකෙස් දැලි රැවුල් ඇති රජකු මෙන් ස්ත්‍රීන් හා කම්සැප විඳින මේ පුරුෂයා කුමක් කෙළේදැයි’ අසන්නාහු නම්, පින්වත්නි, මේ පුරුෂතෙම රජුගේ පසමිතුරන්ගේ භාර්යාවන් දූෂ්‍ය කෙළේය. රජු ඔහුට සතුටුව වස්තුව දුන්නේයයි” කියන්නාහුය.
“එහෙයින් මේ පුරුෂතෙම මාලා පැළඳ කුණ්ඩලාභරණ පැළඳ, මනාකොට ස්නානය කළ, සුවඳවලින් ගැල්වූ, කපන ලද හිසකෙස් දැලිරැවුල් ඇති රජකු මෙන් ස්ත්‍රීන් සමග කම්සැප විඳින්නේයයි’ කියන්නාහුය.
“ගාමණිය මේ ලෝකයෙහි දැඩි රැහැණින් දෙඅත් පිටිකරට දැඩිකොට බැඳ, හිස මුඩුකොට, රළුශබ්දය ඇති බෙර හඬින් වීථියෙන් වීථියට, සන්ධියෙන් සන්ධියට ගෙන ගොස් දකුණු දොරටුවෙන් නික්මවා නුවරට දකුණු දෙස හිස සිඳිනු ලබන ඇතැම් පුරුෂයෙක් දක්නා ලැබේ.
“පින්වත්නි, දැඩි රැහැණින් අත් පිටිකරට තබා බැඳ, හිස මුඩුකොට, ක්‍රෑර ශබ්ද ඇති, වීථියෙන් වීථියට, සන්ධියෙන් සන්ධියට ගෙන ගොස් දකුණු දොරටුවෙන් නික්මවා නුවරට දකුණු දෙස හිස සිඳිනු ලබන මේ පුරුෂයා කුමක් කෙළේදැයි අසන්නාහු නම් ‘මේ පුරුෂතෙම කුල ස්ත්‍රීන්, කුල කුමාරිකාවන් දූෂ්‍ය කෙළේය. එහෙයින් රජහු ඔහු අල්වාගෙන මෙබඳු දඬුවම් කරවත්යයි” කියන්නාහුය.
“ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද? තොප විසින් මෙබන්දක් දක්නා ලද්දේද? අසන ලද්දේද?” - “ස්වාමීනි, අප විසින් දක්නා ලද්දේද වෙයි. අසන ලද්දේද වෙයි. අසනු ලබන්නේද වෙයි.”
“ගාමණිය, එහි යම් කිසිවෙක් කාමයන්හි වරදවා හැසිරෙයිද? ඒ හැමදෙන මෙලොව දුකක් දොම්නසක් විඳිත් යයි මෙසේ කියන්නාවූ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත්ද? ඔව්හු සත්‍යයක් කීවාහුද, බොරුවක් කීවාහුද?” - “ස්වාමීනි, බොරුවකි.”
“යම් බඳු ඔව්හු හිස්වූවක් මුසාවක් කියත් නම් ඔව්හු ශීලවන්තයෝද, දුශ්ශීලයෝද?” - “ස්වාමීනි, දුශ්ශීලයෝය.”
“දුශ්ශීල ලාමක ස්වභාව ඇති ඔව්හු වරදවා පිළිපන්නාහුද, යහපත්ව පිළිපන්නාහුද?” - “ස්වාමීනි, වරදවා පිළිපන්නාහුය.”
“වරදවා පිළිපන් ඔව්හු මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහුද, සම්‍යක් දෘෂ්ටි ඇත්තාහුද?” - “ස්වාමීනි, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහුය.”
“යම් කෙනෙක් මිථ්‍යාදෘෂ්ටික නම් ඔවුන් කෙරෙහි පහදින්නට සුදුසුද?” - “ස්වාමීනි, සුදුසු නැත.”
“ගාමණිය, මේ ලොකයෙහි මාලා දරන්නාවූ කොඬොල් පළදින්නාවූ මනාකොට ස්නානය කළාවූ මනාකොට සුවඳ විලවුන් ගැලවූ කපනලද කෙස් හා රැවුල් ඇත්තාවූ රජෙකු මෙන් ස්ත්‍රීන් හා කම් සැප විඳින්නාවූ ඇතැම් පුරුෂයෙක් දක්නාලැබේ.
“පින්වත, මේ මාලාදරන්නාවූ කුණ්ඩලාභරණ දරන්නාවූ මනාකොට ස්නානය කළාවූ, මනාකොට සුවඳ විලවුන් ගැල්වූ කපනලද කෙස් හා රැවුල් ඇත්තාවූ රජකුමෙන් ස්ත්‍රීන් හා කම් සැප විඳින්නාවූ මේ පුරුෂතෙමේ කුමක් කෙළේදැයි’ අසන්නාහු නම්, ‘පින්වත්නි, මේ පුරුෂතෙම බොරු කීමෙන් රජුන් සතුටුකළේය. රජු ඔහුට සතුටුව වස්තුව දුන්නේය. එහෙයින් මේ පුරුෂතෙම මාලා පැළඳගෙන, කුණ්ඩලාභරණ පැළඳගෙන, මනාකොට ස්නානයකොට, මනාකොට සුවඳ විලවුන් ගල්වා, කපනලද කෙස් හා රැවුල් ඇතිව රජෙකු මෙන් ස්ත්‍රීන් හා කම් සැප විඳින්නේයයි’ කියන්නාහුය.
“ගාමණිය, මේ ලොකයෙහි දැඩි රැහැණින් අත් පිටිකරට දැඩි බැම්මෙන් බැඳ මුඩු කර රළු ශබ්ද ඇති බෙර හඬින් වීථියෙන් වීථිය සන්ධියෙන් සන්ධියට ගෙන ගොස් දකුණු දොරින් නික්මවා නුවරට දකුණුදෙස හිස සිඳිනු ලබන ඇතැමෙක් දක්නට ලැබේ. පින්වත්නි, දළ රැහැණින් දෙඅත් පිටිකරට දැඩි බැම්මෙන් බැඳ හිස මුඩුකර රළු ශබ්ද ඇති බෙර හඬින් වීථියෙන් වීථියට සන්ධියෙන් සන්ධියට ගෙන ගොස් දකුණු දොරින් නික්මවා නුවරට දකුණුදෙස හිස සිඳිනු ලබන මේ පුරුෂයා කුමක් කෙළේදැයි අසන්නාහුය. ‘පින්වත්නි, මේ පුරුෂතෙමේ බොරු කීමෙන් ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ අර්ථය විනාශ කළේය. එහෙයින් රජහු ඔහු අල්වාගෙන මෙබඳු දඬුවම් කරවත්යයි’ කියන්නාහුය. ගාමණිය, ඒ කුමකැයි හඟින්නේද? තොප විසින් මෙබන්දක් දක්නා ලද්දේ. අසන ලද්දේද?” - “ස්වාමීනි, අප විසින් දක්නා ලද්දේද වෙයි. අසන ලද්දේද වෙයි. අසනු ලබන්නේද වෙයි.”
“ගාමණිය, එහි තොප විසින් ඒ යම් කිසිවෙක් බොරු කියයිද ඒ හැමදෙන මෙලොවම දුකක් දොම්නසක් විඳිත්යයි මෙසේ කියන්නාවූ මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත්ද, ඔව්හු ඇත්තක් කීවාහුද, බොරුවක් කීවාහුද?” - “ස්වාමීනි බොරුවකි.”
“යම් කෙනෙක් හිස්වූ බොරු කීවාහුද? ඔව්හු සීලවන්තයෝද, දුශ්ශීලයෝද?” - “ස්වාමීනි, දුශ්ශීලයෝය.”
“දුශ්ශීලවූ ලාමක ධර්ම ඇති යම්බඳු ඔව්හු වරදවා පිළිපන්නාහුද, මනාව පිළිපන්නාහුද?” - “ස්වාමීනි, වරදවා පිළිපන්නාහුය.”
“යම් කෙනෙක් වනාහි වරදවා පිළිපන්නාහුද, ඔව්හු මිථ්‍යා දෘෂ්ටිකයෝද? සම්‍යක් දෘෂ්ටිකයෝද?” - “ස්වාමීනි, මිථ්‍යා දෘෂ්ටිකයෝය.
“යම් ඒ කෙනෙක් මිථ්‍යාදෘෂ්ටිකද, ඔවුන් කෙරෙහි පැහැදීමට සුදුසුද?” - “ස්වාමීනි නැත.”
“ස්වාමීනි. ආශ්චර්යය ස්වාමීනි, පුදුමයි. ස්වාමීනි. මගේ විවේක ගෘහයක් ඇත්තේය. එහි ඇඳන් තිබේ. ආසන තිබේ. පැන් සැළි ඇත්තේය තෙල් පහන් ඇත්තේය. එහි යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වාසයට පැමිණේද? මම එයින් ශක්තිය ඇති පමණින් පුළුවන් පමණින් සංග්‍රහ කරමි.
“ස්වාමීනි, පෙර සිදුවූවක් කියමි. නොයෙක් දෘෂ්ටිගත්, නොයෙක් මත ඇති, නොයෙක් අදහස් ඇති, ශාස්තෲවරයෝ සතර දෙනෙක් ඒ විවේකාගාරයෙහි වාසයට පැමිණියාහුය. එක් ශාස්තෲවරයෙක් මෙවැනි වාද මෙවැනි දෘෂ්ටි ඇත්තේය. දීමෙහි විපාක නැත. පිදීමෙහි විපාක නැත. මහා දානයෙහි විපාක නැත. යහපත්කොට කරනලද, අයහපත්කොට කරනලද කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත. මෙලොව නැත. පරලොව නැත. මවු නැත පියා නැත. ඕපපාතික සත්වයෝ නැත. යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තෙමේ දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කෙරෙත්ද, එවැනි මනාව පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලොකයෙහි නැත්තේයයි මෙසේ කියන්නේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි.
“එක ශාස්තෲවරයෙක් දීමෙහි විපාක ඇත. පිදීමෙහි විපාක ඇත. මහා දානයෙහි විපාක ඇත මනාකොට කරන ලද නපුරුකොට කරන ලද කර්මයන්ගේ ඵලවිපාක ඇත මෙලොව ඇත. පරලොව ඇත. මවු ඇත. පියා ඇත ඕපපාතික සත්වයෝ ඇත. යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කෙරෙත්ද මනාව පිළිපන් එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහයි’ මෙබඳු වාද මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි.
“එක් ශාස්තෲවරයෙක් ‘කරන්නාහට කරවන්නාහට සිඳින්නාහට, සින්දවන්නාහට, පිසන්නාට, පිසවන්නාට, ශොක කරන්නාහට, ක්ලාන්ත කරන්නාහට, කම්පා කරන්නාහට, කම්පා කරවන්නාහට, සතුන් මරන්නාට සොරකම් කරන්නාහට, ගෙවල් බිඳින්නාහට, මං පහරන්නාහට, එක් ගෙයක්වටකර බඩු පැහැරගන්නාහට, මාර්ගයෙහි රැකසිට පැහැරගන්නාහට, පරදාරාවන් කරා යන්නාහට, බොරු කියන්නාහට, කරවන්නාහට, පාපයක් නොවේ. ආයුධ සහිත චක්‍රයකින් යමෙක් මේ පෘථිවියෙහි ප්‍රාණින් එක් මස් ගොඩක් එක් මස් රැසක් කරන්නේ නම් ඒ හේතුවෙන් පාපයක් නැත. පව් රැස්වීමක් නැත. හිංසා කරමින්, මරමින් සිඳිමින් සින්දවමින් පිසිමින්, පිසවමින්, ගංගා නදියෙහි දකුණු තීරයට ගියත් ඒ හෙතුවෙන් පව් නැත. පාපයන්ගේ පැමිණීමක් නැත. දෙමින් දෙවමින් පුදමින් පුදවමින් ගංගා නදියෙහි උතුරු තීරයට ගියත් ඒ හේතුවෙන් පිනක් නැත. පින් රැස්වීමක් නැත. දීමෙන් දමනයෙන්, සංයමයෙන්, සත්‍ය වචනයෙන් පිනක් නැත. පින් රැස්වීමක් නැතැයි’ වාද ඇත්තේ දෘෂ්ටි ඇත්තේ වෙයි.
“එක් ශාස්තෲවරයෙක් ‘කරන්නාට, කරවන්නාට, සිඳින්නාට, සින්දවන්නාට, පිසන්නාට, පිසවන්නාට, ශොක කරවන්නාට, ක්ලාන්ත කරවන්නාට, කම්පා කරන්නාට, කම්පාකරවන්නාට ප්‍රාණඝාත කරන්නාට. නුදුන්දේ ගන්නාහට, ගෙවල් බිඳින්නාට, මං පහරන්නාහට, එක් ගෙයක් වටකර බඩු පැහැර ගන්නාහට, මග රැක සිට බඩු පැහැර ගන්නාහට අන් අඹුවන්කරා යන්නාහට, බොරු කියන්නා හට, කරන්නා හට පාපය වෙයි. ආයුධ සහිත චක්‍රයකින් යමෙක් මේ පෘථිවියෙහි ප්‍රාණීන් එක් මස් ගොඩක්, එක් මස් පිඩක් කරන්නේය. ඒ හේතුවෙන් පාපයක් ඇත හිංසා කරමින් මරමින්, සිඳිමින්, සින්දවමින්, පිසමින්, පිසවමින්, ගංගා නදියෙහි දකුණු තෙරටද යන්නේය. ඒ හේතුවෙන් පාපයක් ඇත. පාපයාගේ පැමිණීමක් ඇත. දෙමින්, දෙවමින්, පුදමින්, පුදවමින්, ගංගා නදියෙහි උතුරු තෙරටද යන්නේය. ඒ හේතුවෙන් පිනක් ඇත්තේය පින් පැමිණීමක් ඇත්තේය. දීමෙන් දමනයෙන් සංයමයෙන් සත්‍ය වචනයෙන් පිනක් ඇත පින පැමිණීමක් ඇත්තේයයි මෙබඳු වාද, මෙබඳු දෘෂ්ටි ඇත්තේය.”
“ස්වාමීනි, ඒ මට මේ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතුරින් කවරෙක් සත්‍යයක් කීයේද? කවරෙක් මුසා කීයේදැයි විමතියක් විය. විචිකිච්ඡාවක් පහළ වූයේමය.”
“ගාමණිය, තොප විසින් විමති ඉපදවීමට, සැක කිරීමට සුදුසුය. සැක කළ යුතු තැන තොපට සැක පහළවිය.”
“ස්වාමීනි, යම් සේ මම මේ සැකය දුරුකරන්නෙම්ද, මට භාග්‍යවතුන් වහන්සේ එසේ ධර්ම දෙශනා කිරීමට සමර්ථ වේ නම් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම එසේ පැහැදුනේ වෙමි.”
“ගාමණිය, දශ කුශල ධර්ම සමාධිය ඇත්තේය. ධර්ම සමාධියෙහි සිටි ඔබ චිත්තසමාධිය ලබන්නෙහිය. මෙසේ ඔබ මේ සැකකරන ස්වභාවය දුරුකරන්නෙහිය. ගාමණිය, ධර්ම සමාධිය නම් කවරේද? ගාමණිය, මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවකතෙම සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වෙන්වූයේ වේද, බහා තබනලද දඬු ඇත්තේ තබනලද ආයුධ ඇත්තේ, පාපයෙහි ලජ්ජා ඇත්තේ, දයාවට පැමිණියේ සියලු ප්‍රාණීන් කෙරෙහි හිතවත් අනුකම්පාවෙන් වාසය කරයිද, නුදුන් දෙය ගැනීමෙන් වෙන්ව, නුදුන් දෙය ගැනීමෙන් වෙන්වූයේවේද, කාමයන්හි වරදවා හැසිරීම අත්හැර කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූයේවේද? මුසාවාදය අත්හැර මුසාවාදයෙන් වෙන්වූයේවේද, කේලාම් කීම අත්හැර කේලාම් කීමෙන් වෙන්වූයේවේද? ඵරුෂවචනය අත්හැර ඵරුෂ වචනයෙන් වෙන්වූයේවේද ප්‍රලාප කීම අත්හැර ප්‍රලාප කීමෙන් වෙන්වූයේවේද, දැඩි ලොභය අත්හැර දැඩි ලොභය නැත්තේවේද, ව්‍යාපාද සංඛ්‍යාත ද්වේෂය හැර අව්‍යාපාද සිත් ඇත්තේවේද, මිථ්‍යාදෘෂ්ටිය අත්හැර සම්‍යක් දෘෂ්ටිය ඇත්තේවේද,
“ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ පහකළ දැඩි ලොභ ඇත්තේ පහවූ ව්‍යාපාද ඇත්තේ නොමුළාවූයේ සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිසාවක්, එසේ තුන් දිසාවක්, එසේ සතර දිසාවක් මෙසේ උඩ යට සරහ හැමතැන සර්වප්‍රකාරයෙන් සියල්ල සහිත ලොකය මහත්වූ මහද්භාවයට ගියාවූ අප්‍රමාණවූ අවෛරවූ ව්‍යාපාද නැත්තාවූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයිද, හෙතෙමේ යම් මේ ශාස්තෲවරයෙක් දීමෙහි විපාක නැත. පිදීමෙහි විපාක නැත. මහා දානයෙහි විපාක නැත. මනාකොට කරනලද, නපුරු කොට කරනලද කර්මයන්ගේ ඵල විපාක නැත. මෙලොව නැත. පරලොව නැත. මවක් නැත. පියෙක් නැත ඔපපාතික සත්වයෝ නැත. යමෙක් මෙලොවද, පරලොවද, තෙමේ දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කරත්ද, එබඳු මනාව පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලොකයෙහි නැතැයි කියන්නේද මෙබඳු දෘෂ්ටි ඇත්තේද, ඉදින් ඒ භවත් ශාස්තෲවරයාගේ වචනය සත්‍ය නම් ඒ මම භය සහිතවූ හෝ භය නැත්තාවූ හෝ කිසිවෙකුට පීඩා නොකෙළෙම් නම් එය මට අපරාධයක් නොවීම පිණිස වෙයි. යම් හෙයකින් මම කයින් සංවරවූයෙමි. වචනයෙන් සංවර වූයෙමි. සිතින් සංවර වූයෙමි. කියාද කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නෙම්ද මේ දෙකට බැසගත්තේ වෙමියි ඔහුට ප්‍රමොදය (තරුණ ප්‍රීතිය) උපදී. ප්‍රමුදිතවූවහුට ප්‍රීතිය (බලවත් සතුට) පහළවේ. ප්‍රීති සිත ඇත්තාගේ නාම කය සංසිඳුනේවේ. නාමකය සංසිඳුනේ සැප විඳී. සැප ඇත්තාගේ සිත සමාධියට පැමිණෙයි.
“ගාමණිය, ඒ මේ වනාහි ධර්ම සමාධියයි. ඉදින් ඔබ එහි චිත්ත සමාධිය ලබන්නෙහි නම් මෙසේ ඔබ ඒ සැක කරන ස්වභාවය දුරුකරන්නෙහිය.
“ගාමණිය, ඒ මේ ආර්යශ්‍රාවක තෙම මෙසේ පහවූ දැඩි ලොභ ඇත්තේ පහවූ ව්‍යාපාද ඇත්තේ නොමුළාවූයේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිසාවක්, එසේ තුන් දිසාවක් එසේ සතර දිසාවක් මෙසේ උඩයට සරස හැමතැන සර්වප්‍රකාරයයන් සියල්ල සහිත ලොකය මහත්වූ මහත්ගතවූ අප්‍රමාණවූ අවෛරවූ ව්‍යාපාද නැත්තාවූ මෛත්‍රිසහගත සිතින් පතුරවා වාසය කරයි. හෙතෙම යම් මේ ශාස්තෲවරයෙක් දුන් දෙයෙහි විපාක ඇත. පුදනලද්දෙහි විපාක ඇත, මහාදානයෙහි විපාක ඇත. යහපත්කොට කරනලද නපුරු කොට කරන ලද කර්මයන්ගේ ඵලවිපාක ඇත මෙලොව ඇත, පරලොව ඇත. මවක් ඇත, පියෙක් ඇත, ඕපපාතික සත්වයන් ඇත, යහපත් මාර්ගයෙහි පිළිපන් මෙලොවද පරලොවද තෙමේ දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශකළ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇතැයි ප්‍රත්‍යක්ෂ කරයිද ඉදින් ඒ පින්වත් ශාස්තෲහුගේ වචනය සත්‍යනම් එය මගේ නිරපරාධය පිණිස පවතියි තැතිගන්නාවූද, නොගන්නාවූද, කිසිවෙකු මම නොපෙළෙමි. යම් හෙයකින් මම කයින් සංවර වූයෙමි වචනයෙන් සංවර වූයෙමි. සිතින් සංවර වූයෙමි. කියාද කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදින්නෙමි කියාද, මේ දෙකින් ඔහුට ප්‍රමොදය පහළවෙයි. ප්‍රමොදවූවහුට ප්‍රීතිය පහළවේ. ප්‍රීතිසිත් ඇත්තාගේ නාමකය සංසිඳුනේ වේ. සංසිඳුනු නාමකය ඇත්තේ සැප විඳියි. සැප ඇත්තාගේ සිත එකඟවේ. ගාමණිය මේ ධර්ම සමාධියයි. ඔබ එහි චිත්තසමාධිය ලබන්නෙහි නම් මෙසේ මේ සැක කරන ස්වභාවය දුරු කරන්නෙහිය.
“ගාමණිය, ඒ මේ ආර්යශ්‍රාවක තෙමේ මෙසේ පහවූ දැඩි ලොභ ඇත්තේ පහවූ ව්‍යාපාද ඇත්තේ නොමුළාවූයේ ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිසාවක් එසේ තුන්දිසාවක් එසේ සතරදිසාවක් මෙසේ උඩයට සරස හැම තැන සර්වප්‍රකාරයෙන් සියල්ල සහිත මහත්වූ මහද්ගතවූ අප්‍රමාණවූ අවෛරවූ ව්‍යාපාද නැත්තාවූ ලොකය මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙම මෙසේ සිතයි. යම් මේ ශාස්තෲ කෙනෙක් කරන්නාට කරවන්නාට සිඳින්නාට සින්දවන්නාට පිසන්නාට පිසවන්නාට ශොකකරන්නාට ක්ලාන්ත කරවන්නාට කම්පා කරන්නාට කම්පාකරවන්නාට සතුන් මරන්නාහට නුදුන්දේ ගන්නාහට ගෙවල් බිඳින්නාහට මංපහරන්නාහට එක්ගෙයක් වටකර බඩුපැහැර ගන්නාට මග රැක සිට බඩු පැහැරගන්නාහට අන් අඹුවන් කරායන්නාට බොරු කියන්නාට කරන්නාට පාපයක් නැත. යමෙක් ආයුධ චක්‍රයකින් මේ පෘථුවියෙහි ප්‍රාණීන් එක්මස් ගොඩක් එක්මස් රැසක් කරන්නේද, ඒ හේතුවෙන් පාපයක් නැත. පාපයාගේ පැමිණීමක් නැත. නසමින් මරමින් සිඳිමින් සින්දවමින් පිසමින් පිසවමින් ගංගා නදියෙහි දකුණු තෙරට යන්නේද, ඒ හේතුවෙන් පාපයක් නැත්තේය. පාපයාගේ පැමිණීමක් නැත්තේය. දෙමින් දෙවමින් පුදමින් පුදවමින් ගංගානදියෙහි උතුරු තෙරට යන්නේද ඒ හේතුවෙන් පිනක් නැත පින පැමිණීමක් නැත දීමෙන් දමනයෙන් සංයමයෙන් සත්‍ය වචනයෙන් පිනක් නැත පින් රැස්වීමක් නැතැයි මෙසේ කීය. මෙසේ කියන්නේද මෙබඳු දෘෂ්ටි ඇත්තේද ඉදින් ඒ පින්වත් ශාස්තෲවරයාගේ වචනය සත්‍යනම් මට නිරපරාධ පිණිස පවතියි. යම්බදු මම යම් හෙයකින් කයින් සංවර වූයෙම්ද, වචනයෙන් සංවර වූයෙම්ද, මනසින් සංවරවූයෙමි කියාද, ස්ථාවර කිසිවෙක් තැතිගන්නාවූද, තැති නොගන්නාවූද, කිසිවෙකු නොපෙළම්ද යම්හෙයකින් කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපදිමි කියාද, මෙහි මේ දෙකට බැසගත්තේ වෙමියි ඕහට ප්‍රමොදය පහළවේ. ප්‍රමොදවූ ඔහුට ප්‍රීතිය පහළවේ. ප්‍රීතිසිත් ඇත්තහුගේ නාමකය සංසිඳුනේවේ. සංසිඳුනු නාමකය ඇත්තේ සැප විඳියි. සැප ඇත්තාහුගේ සිත එකඟවේ. ගාමණිය මේ ධර්ම සමාධියයි. ඉදින් ඔබ එහි චිත්තසමාධිය ලබන්නෙහිනම් මෙසේ ඔබ මේ පාප කටයුතු ධර්මය දුරුකරන්නෙහිය.
“ගාමණිය, ඒ මේ ආර්යශ්‍රාවකතෙම මෙසේ පහවූ දැඩි ලොභ ඇත්තේ පහවූ ව්‍යාපාද ඇත්තේ නොමුළාවූයේ සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහිඇත්තේ මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙරෙයි. එසේ දෙදිසාවක් එසේ තුන්දිසාවක් එසේ සතර දිසාවක් මෙසේ උඩයට සරස හැම තැන සර්වප්‍රකාරයෙන් සියල්ල සහිත මහත්වූ මහද්ගතවූ අප්‍රමාණවූ අවෛරවූ ව්‍යාපාද නැත්තාවූ ලොකය මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙමේ යම් මේ ශාස්තෲතෙම කරන්නාට, කරවන්නාට, සිඳින්නාට, සිඳවන්නාට, පිසන්නාට, පිසවන්නාට, ශොක කරන්නාට, ක්ලාන්ත කරවන්නාට, කම්පාකරන්නාට කම්පාකරවන්නාහට, සතුන් මරන්නාහට, නුදුන් දේ ගන්නාහට, ගෙවල් බිඳින්නාට, මං පහරන්නාට, එක් ගෙයක් වටකර බඩු පැහැර ගන්නාහට, මගරැක සිට බඩු පැහැරගන්නාහට, අන්අඹුවන් කරා යන්නා හට, බොරුකියන්නාට, කරවන්නාහට පාපය සිදුවෙයි. ආයුධ සහිත චක්‍රයෙන් යමෙක් මේ පෘථුවියෙහි සත්වයන් එක් මස් ගොඩක් එක් මස්පිඩක් කරන්නේද ඒ හේතුවෙන් පාපයක් ඇත පාපයාගේ පැමිණීමක් ඇත. සිඳිමින් සිඳවමින් මරමින් මරවමින් පිසමින් පිසවමින් ගංගා නදියෙහි දකුණු තෙරට යන්නේද, ඒ හේතුවෙන් පාපයක් ඇත. පාපයාගේ පැමිණීමක් ඇත. දෙමින් දෙවමින් පුදමින් පුදවමින් ගංගා නදියෙහි උතුරුතෙරට යන්නේද, ඒ හේතුවෙන් පිනක් ඇත. පින් රැස්වීමක් ඇත. දීමෙන් දමනයෙන් සංයමයෙන් සත්‍ය වචනයෙන් පිනක් ඇත. පින් රැස්වීමක් ඇත මෙසේ කියන්නේද මෙබඳු දෘෂ්ටි ඇත්තේද, ඉදින් ඒ භවත් ශාස්තෲවරයාගේ වචනය සත්‍ය නම් මට නිරපරාධ පිණිස පවතී. තැතිගන්නාවූ හෝ තැති නොගන්නාවූ හෝ කිසිවෙකු මම නොපෙළෙම්ද, යම් හෙයකින් කයින් සංවර වූයෙමි. වචනයෙන් සංවර වූයෙමි. සිතින් සංවර වූයෙමි කියාද යම් හෙයකින් කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදින්නෙමි කියාද, මේ දෙකට බැසගත්තේ වෙමි. ඒ මට ප්‍රමොදය උපදී. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සිත් ඇත්තාහුගේ ශරීරය සංසිඳුනේවේ. සංසිඳුනු ශරීර ඇත්තේ සැපයක් විඳියි. සැප ඇත්තාගේ සිත එකඟවේ. ගාමණිය, මේ ධර්ම සමාධියයි ඔබ එහි චිත්ත සමාධිය ලබන්නෙහි නම් මෙසේ ඔබ සැක කරන ස්වභාවය දුරු කරන්නෙහිය.
“ගාමණිය, ඒ මේ ආර්යශ්‍රාවකතෙම මෙසේ පහවූ දැඩි ලොභ ඇත්තේ, පහවූ ව්‍යාපාද ඇත්තේ නොමුළාවූයේ, යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ, සිහිඇත්තේ, කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිසාවක් එසේ තුන් දිසාවක්, එසේ සතර දිසාවක් මෙසේ උඩයට සරස හැමතැන සර්වප්‍රකාරයෙන් සියල්ල සහිත මහත්වූ මහද්ගතවූ අප්‍රමාණවූ අවෛරවූ ව්‍යාපාද නැත්තාවූ ලොකය කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
හෙතෙම මෙසේ සිතයි යම් මේ ශාස්තෲ කෙනෙක් දෙන ලද්දෙහි විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත. මහා දානයෙහි විපාක නැත. යහපත්කොට කරනලද නපුරුකොට කරන ලද කර්මයන්ගේ ඵල විපාක නැත. මෙලොව නැත. පරලොව නැත. මවු නැත. පියා නැත. ඕපපාතික සත්වයෝ නැත. යහපත් මාර්ගයෙහි පිළිපන් යමෙක් මෙලොවත් පරලොවත් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කෙරෙත්ද, එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැතැයි මෙබඳු වචන කියන්නේද, මෙබඳු දෘෂ්ටි ඇත්තේද, ඉදින් ඒ පින්වත් ශාස්තෲන්ගේ වචනය සත්‍යනම් මට නිරපරාධ පිණිස පවතී. මම තැති ගන්නාවූද, තැති නොගන්නාවූද, කිසිවෙකු නොපෙළමි. ඒ මම කයින් සංවරවූයෙමි. වචනයෙන් සංවර වූයෙමි. සිතින් සංවරවූයෙමි කියාද, කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපදින්නෙමියි කියාද මේ දෙකට බැසගත්තේ වෙමි. ඒ මට ප්‍රමොදය උපදී, ප්‍රමොදවූ මට ප්‍රීතිය උපදී. ප්‍රීති සිත් ඇත්තහුගේ නාම කය සංසිඳෙයි. සංසිඳුනු නාමකය ඇත්තේ සැප ඇත්තාගේ සිත සමාධියට පැමිණෙයි. ගාමණිය, මේ ඒ ධර්ම සමාධියයි. ඔබ එහි ඉදින් චිත්ත සමාධිය ලබන්නෙහි නම් ඔබ මෙසේ මේ සැක කරන ස්වභාවය දුරු කරන්නේය.
“ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ පහවූ දැඩි ලොභ ඇත්තේ පහවූ ව්‍යාපාද ඇත්තේ නොමුළාවූයේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිසාවක්, එසේ තුන් දිසාවක්, එසේ සතර දිසාවක් මෙසේ උඩ යට සරස හැම තැන සර්වප්‍රකාරයෙන් සියල්ල සහිත මහත්වූ මහත්ගතවූ අප්‍රමාණවූ අවෛරවූ ව්‍යාපාද රහිත ලොකය කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“හෙතෙම යම් මේ ශාස්තෲවරයෙක් දෙන ලද්දෙහි විපාක ඇත. පුදන ලද්දෙහි විපාක ඇත. මහාදානයෙහි විපාක ඇත. යහපත්කොට කරන ලද නපුරුකොට කරන ලද කර්මයන්ගේ ඵල විපාක ඇත මෙලොව ඇත පරලොව ඇත. මවෙක් ඇත. පියෙක් ඇත. ඔපපාතික සත්වයෝ ඇත. යමෙක් මෙලොවද, පරලොවද තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කෙරෙත්ද, යහපත් මාර්ගයෙහි පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙසේ කියන මෙබඳු ලොකයෙහි ඇතැයි මෙසේ කියන්නේ වේද, මෙබඳු දෘෂ්ටි ඇත්තේ වේද, ඉදින් ඒ භවත් ශාස්තෲහුගේ වචනය ඇත්ත නම් මගේ නිරපරාධය පිණිස පවතී. මම තැතිගන්නාවූ හෝ තැති නොගන්නාවූ හෝ කිසිවෙක් නොපෙළමි. යම් ඒ මම කයින් සංවර වූයෙමි. වචනයෙන් සංවර වූයෙමි. සිතින් සංවරවූයෙමි කියාද, කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නෙමි කියාද, මෙහි මේ දෙකටම බැසගත්තේ වෙමි. ඒ මට ප්‍රමොදය උපදී, ප්‍රමෝදවූවහුට ප්‍රීතිය පහළවෙයි. ප්‍රීතිසිත් ඇත්තාහුගේ නාමකය සංසිඳෙයි. සංසිඳුණු නාම කය ඇත්තේ සැප විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිගත වෙයි. ගාමණිය, මේ ධර්ම සමාධියයි. ඉදින් ඔබ එහි චිත්ත සමාධිය ලබන්නෙහි නම් මෙසේ මේ සැක කරන ස්වභාවය දුරු කරන්නේය.
“ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ පහවූ අභිධ්‍යා ඇත්තේ පහවූ ව්‍යාපාද ඇත්තේ නොමුළාවූයේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙදිසාවක්, එසේ තුන් දිසාවක් එසේ සතර දිසාවක් මෙසේ උඩ යට සරස හැම තැන සර්වප්‍රකාරයෙන් සියල්ල සහිත ලොකය මහත්වූ මහත් ගතවූ අප්‍රමාණවූ අවෛරවූ අව්‍යාපාදවූ ලොකය කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“හෙතෙම යම් මේ ශාස්තෲවරයෙක් කරන්නාට, කරවන්නාට, සිඳින්නාට, සින්ඳවන්නාට, පිසින්නාට, පිසවන්නාට, ශොක කරන්නාට, ක්ලාන්ත කරවන්නාට, කම්පාකරන්නාට, කම්පා කරවන්නාහට, සතුන් මරන්නාට, නුදුන් දේ ගන්නාහට ගෙවල් බිඳින්නාට, මං පහරන්නාට, එක්ගෙයක් වටකර බඩු පැහැරගන්නාට, මග රැක සිට බඩු පැහැර ගන්නාට, අන් අඹුවන් කරා යන්නාහට, බොරු කියන්නාහට, කරන්නාහට පාපයක් නැත. ආයුධ සහිත චක්‍රයකින් යමෙක් මේ පෘථුවියෙහි ප්‍රාණීන් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නාහට ඒ හේතුවෙන් පාපයක් නැත පාපයාගේ පැමිණීමක් නැත හිංසා කරමින්, මරවමින්, සිඳිමින්, සින්ඳවමින්, පිසමින්, පිසවමින්, ගංගානදියෙහි දකුණු තෙරට යන්නේද ඒ හේතුවෙන් පාපයක් නැත. පාපයාගේ රැස්වීමක් නැත. දෙමින්, දෙවමින්. පුදමින් පුදවමින් ගංගානදියෙහි උතුරු තෙරට යන්නේද, ඒ හේතුවෙන් පිනක් නැත. පින් රැස්වීමක් නැත. දීමෙන්, දමනයෙන්, සංයමයෙන් සත්‍ය වචනයෙන් පිනක් නැත. පින් රැස්වීමක්නැත. ඉදින් ඒ පින්වත් ශාස්තෲහුගේ වචනය සත්‍යනම් මට නිපරාධය පිණිස පවතී. මම තැති ගන්නාවූ හෝ නොගන්නාවූ හෝ කිසිවෙක් නොපෙළම්ද, ඒ මම කයින් සංවරවූයෙමි වචනයෙන් සංවරවූයෙමි. සිතින් සංවරවූයෙමි කියාද, ඒ මම යම්හෙයකින් කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදින්නෙමි කියාද, දෙපක්ෂයටම බැස ගත්තෙමි. ඒ මට ප්‍රමොදය උපදී. ප්‍රමුදිත ඔහුට ප්‍රීතිය පහළ වෙත්. ප්‍රීති සිත් ඇත්තහුගේ නාම කය සංසිඳුනේ වේ. සංසිඳුණු නාම කය ඇත්තේ සැපක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධියට පැමිණේ. ගාමණිය, මේ ධර්ම සමාධියයි. ඉදින් ඔබ එහි චිත්ත සමාධිය ලබන්නෙහි නම් මෙසේ ඔබ මේ සැක ස්වභාවය දුරු කරන්නෙහිය.
“ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ පහවූ දැඩි ලොභඇත්තේ පහවූ ව්‍යාපාද ඇත්තේ නොමුළාවූයේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිසාවක්, එසේ තුන් දිසාවක්, එසේ සතර දිසාවක්, මෙසේ උඩ යට සරස හැම තැන සර්වප්‍රකාරයෙන් සියල්ල සහිත මහත්වූ මහත්ගතවූ අප්‍රමාණවූ අවෛරවූ ව්‍යාපාද රහිත ලොකය කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“හෙතෙමේ යම් මේ ශාස්තෘතෙම කරන්නාට, කරවන්නාට, සිඳින්නාට, සින්දවන්නාට, පිසන්නාට, පිසවන්නාට, ශොක කරන්නාට, ක්ලාන්ත කරවන්නාට, කම්පා කරන්නාට, කම්පා නොකරන්නාහට, සතුන් මරන්නාහට, නුදුන් දේ ගන්නාහට, ගෙවල් බිඳින්නාහට, මං පහරන්නාට, එක් ගෙයක් වටකර බඩු පැහැරගන්නාහට, මගරැක සිට බඩු පැහැර ගන්නාට අන් අඹුවන් කරා යන්නාහට, බොරු කියන්නාට, කරන්නාහට, පාපය සිදු වෙයි. ආයුධ සහිත චක්‍රයෙන් යමෙක් මේ පෘථුවියෙහි සත්වයන් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේද, ඒ හේතුවෙන් පාපයක් ඇත පාපයාගේ පැමිණීමක් ඇත. සිඳිමින්, සිඳවමින්, මරමින්, මරවමින් පිසමින් පිසවමින් ගංගානදියෙහි දකුණු තෙරට යන්නේද, ඒ හේතුවෙන් පාපයක් ඇත. පාපයාගේ පැමිණීමක් ඇත. දෙමින්, දෙවමින් පුදමින් පුදවමින් ගංගානදියෙහි උතුරු තෙරට යන්නේද, ඒ හේතුවෙන් පිනක් ඇත. පින් රැස්වීමක් ඇත. දීමෙන්, දමනයෙන්, සංයමයෙන්, සත්‍ය වචනයෙන් පිනක් ඇත. පින් රැස්වීමක් ඇත. මෙසේ කියන්නේද, මෙබඳු දෘෂ්ටි ඇත්තේද? ඉදින් ඒ භවත් ශාස්තෲවරයාගේ වචනය සත්‍ය නම් මට නිරපරාධ පිණිස පවතී, තැතිගන්නාවූ හෝ තැති නොගන්නාවූ හෝ කිසිවෙකු මම නොපෙළම්ද, යම් හෙයකින් කයින් සංවරවූයෙමි. වචනයෙන් සංවරවූයෙමි. සිතින් සංවරවූයෙමි කියාද, යම් හෙයකින් කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපදින්නෙම් කියාද, මේ දෙකට බැස ගත්තේ වෙයි. ඒ මට ප්‍රමොදය උපදී. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය සංසිඳුනේවේ. සංසිඳුණු ශරීරය ඇත්තේ සැපක් විඳියි. සැප ඇත්තාගේ සිත එකඟවේ. ගාමණිය, මේ ධර්ම සමාධියයි. ඔබ එහි චිත්ත සමාධිය ලබන්නෙහි නම් මෙසේ ඔබ සැක කරන ස්වභාවය දුරු කරන්නෙහිය.
“ගාමණිය, ඒ මේ ආර්යශ්‍රාවකතෙම මෙසේ පහවූ දැඩි ලොභ ඇත්තේ, පහවූ ව්‍යාපාද ඇත්තේ, නොමුළාවූයේ, යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ, සිහි ඇත්තේ. මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිසාවක්, එසේ තුන් දිසාවක්, එසේ සතර දිසාවක් මෙසේ උඩ යට සරස හැමතැන සර්වප්‍රකාරයෙන් සියල්ල සහිත මහත්වූ මහත්ගතවූ අප්‍රමාණවූ අවෛරවූ ව්‍යාපාද නැත්තාවූ ලොකය මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“හෙතෙම මෙසේ සිතයි. යම් මේ ශාස්තෲකෙනෙක් දෙන ලද්දෙහි විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත. මහා දානයෙහි විපාක නැත. යහපත්කොට කරනලද නපුරුකොට කරනලද කර්මයන්ගේ ඵල විපාක නැත මෙලොව නැත. පරලොව නැත. මවු නැත. පියා නැත. ඔපපාතික සත්වයෝ නැත. යහපත් මාර්ගයෙහි පිළිපන් යමෙක් මෙලොවත් පරලොවත් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කෙරෙත්ද? එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැතැයි මෙබඳු වචන කියන්නේද, මෙබඳු දෘෂ්ටි ඇත්තේද ඉදින් ඒ පින්වත් ශාස්තෲන්ගේ වචනය සත්‍යනම් මට නිරපරාධ පිණිස පවතී. මම තැති ගන්නාවූද, තැති නොගන්නාවූද, කිසිවෙකු නොපෙලමි. ඒ මම කයින් සංවරවූයෙමි. වචනයෙන් සංවර වූයෙමි. සිතින් සංවර වූයෙමි කියාද කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නෙමියි කියාද, මේ දෙකට බැසගත්තේ වෙමි. ඒ මට ප්‍රමොදය උපදී, ප්‍රමෝදවූ මට ප්‍රීතිය උපදී. ප්‍රීති සිත් ඇත්තාගේ නාම කය සංසිඳෙයි. සංසිඳුනු නාම කය ඇත්තේ සැප විඳියි. සැප ඇත්තාගේ සිත සමාධියට පැමිණෙයි. ගාමණිය, මේ ඒ ධර්ම සමාධියයි. ඔබ එහි ඉදින් චිත්ත සමාධිය ලබන්නෙහි නම් ඔබ මෙසේ මේ සැක කරන ස්වභාවය දුරු කරන්නේය.
“ගාමණිය, ඒ ආර්ය ශ්‍රාවකතෙම මෙසේ පහවූ දැඩි ලොභ ඇත්තේ පහවූ ව්‍යාපාද ඇත්තේ නොමුළාවූයේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිසාවක්, එසේ තුන් දිසාවක්, එසේ සතර දිසාවක්, මෙසේ උඩ යට සරස හැම තැන සර්වප්‍රකාරයෙන් සියල්ල සහිත මහත්වූ මහත්ගතවූ අප්‍රමාණවූ අවෛරවූ ව්‍යාපාද රහිත ලොකය මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“හෙතෙම යම් මේ ශාස්තෲවරයෙක් දෙන ලද්දෙහි විපාක ඇත. පුදන ලද්දෙහි විපාක ඇත. මහාදානයෙහි විපාක ඇත. යහපත්කොට කරනලද, නපුරුකොට කරනලද කර්මයන්ගේ ඵලවිපාක ඇත. මෙලොව ඇත. පරලොව ඇත. මවු ඇත. පියා ඇත. ඔපපාතික සත්වයෝ ඇත. යමෙක් මෙලොවද, පරලොවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කෙරෙත්ද යහපත් මාර්ගයෙහි පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙසේ කියන මෙබඳු ලොකයෙහි ඇතැයි මෙසේ කියන්නේවේද මෙබඳු දෘෂ්ටි ඇත්තේවේද, ඉදින් ඒ භවත් ශාස්තෲහුගේ වචනය ඇත්තනම් මගේ නිරපරාධය පිණිස පවතී. මම තැති ගන්නාවූ හෝ තැති නොගන්නාවූ හෝ කිසිවෙක් නොපෙළමි. යම් ඒ මම කයින් සංවර වූයෙමි. වචනයෙන් සංවරවූයෙමි. සිතින් සංවරවූයෙමි. කියාද, කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපදින්නෙමියි කියාද, මෙහි මේ දෙකටම බැසගත්තේ වෙමි. ඒ මට ප්‍රමොදය උපදී. ප්‍රමොද වූවහුට ප්‍රීතිය පහළවෙයි. ප්‍රීතිසිත් ඇත්තාහුගේ නාමකය සංසිඳෙයි. සංසිඳුන නාම කය ඇත්තේ සැප විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිගත වෙයි. ගාමණිය මේ ධර්ම සමාධියයි. ඉදින් ඔබ එහි චිත්ත සමාධිය ලබන්නෙහිනම් මෙසේ ඔබ මේ සැක කරන ස්වභාවය දුරු කරන්නේය.
“ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ පහවූ අභිධ්‍යා ඇත්තේ පහවූ ව්‍යාපාද ඇත්තේ නොමුළාවූයේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙදිසාවක්, එසේ තුන් දිසාවක්, එසේ සතර දිසාවක් මෙසේ උඩයට සරස හැම තැන සර්වප්‍රකාරයෙන් සියල්ල සහිත ලොකය මහත්වූ මහද්ගතවූ අප්‍රමාණවූ අවෛරවූ ව්‍යාපාද නැත්තාවූ ලොකය මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
හෙතෙම යම් මේ ශාස්තෲවරයෙක් කරන්නාට, කරවන්නාට, සිඳින්නාට, සිඳවන්නාට, පිසින්නාට, පිසවන්නාට, ශොක කරන්නාට, ක්ලාන්ත කරවන්නාට, කම්පා කරන්නාට, කම්පා කරවන්නාට, සතුන් මරන්නාට. නුදුන්දේ ගන්නාහට, ගෙවල් බිඳින්නාට, මංපහරන්නාට, එක් ගෙයක් වටකර බඩු පැහැරගන්නාට, මගරැක සිට පැහැර ගන්නාට, අන් අඹුවන් කරා යන්නාහට, බොරු කියන්නාහට, කරන්නාහට පාපයක් නැත. ආයුධ සහිත චක්‍රයකින් යමෙක් මේ පෘථිවියෙහි ප්‍රාණීන් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නාහට ඒ හේතුවෙන් පාපයක් නැත. පාපයාගේ පැමිණීමක් නැත. හිංසා කරමින් මරවමින්, සිඳිමින්, සින්දවමින්, පිසමින්, පියවමින්, ගංගානදියෙහි දකුණු දෙසට යන්නේද, ඒ හේතුවෙන් පාපයක් නැත. පාපයාගේ රැස්වීමක් නැත. දෙමින්, දෙවමින්, පුදමින් පුදවමින් ගංගානදියෙහි උතුරු තෙරට යන්නේද, ඒ හේතුවෙන් පිනක් නැත. පින් රැස්වීමක් නැත දීමෙන්, දමනයෙන් සංයමයෙන් සත්‍යවචනයෙන් පිනක් නැත. පින් රැස්වීමක් නැත. ඉදින් ඒ පින්වත් ශාස්තෲහුගේ වචනය සත්‍යනම් මට නිරපරාධය පිණිස පවතී. මම තැති ගන්නාවූ හෝ නොගන්නාවූ හෝ කිසිවෙක් නොපෙළෙම්ද, ඒ මම කයින් සංවරවූයෙමි. වචනයෙන් සංවරවූයෙමි. සිතින් සංවර වූයෙමි කියාද, ඒ මම යම්හෙයකින් කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපදින්නෙමි කියාද දෙපක්ෂයටම බැස ගත්තෙමි. ඒ මට ප්‍රමොදය උපදී. ප්‍රමුදිතවූ ඔහුට ප්‍රීතිය පහළ වෙත්. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳුනේ වේ. සංසිඳුණු නාම කය ඇත්තේ සැපක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධියට පැමිණේ. ගාමණිය, මේ ධර්ම සමාධියයි. ඉදින් ඔබ එහි චිත්ත සමාධිය ලබන්නෙහි නම් මෙසේ ඔබ මේ සැක කරන ස්වභාවය දුරු කරන්නෙහිය.
“ගාමණිය, ඒ මේ ආර්යශ්‍රාවකතෙම මෙසේ පහවූ දඩිලොභ ඇත්තේ, පහවූ ව්‍යාපාද ඇත්තේ, නොමුළාවූයේ, යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ, සිහි ඇත්තේ, මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිසාවක්. එසේ තුන් දිසාවක්, එසේ සතර දිසාවක් මෙසේ උඩ යට සරස හැමතැන සර්වප්‍රකාරයෙන් සියල්ල සහිත මහත්වූ මහත්ගතවූ අප්‍රමාණවූ අවෛරවූ ව්‍යාපාද නැත්තාවූ ලොකය මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“හෙතෙම යම් මේ ශාස්තෲතෙම කරන්නාට කරවන්නාට සිඳින්නාට, සින්දවන්නාට, පිසන්නාට, පිසවන්නාට, ශොක කරන්නාට, ක්ලාන්ත කරවන්නාට, කම්පාකරන්නාට, කම්පා නොකරන්නාහට, සතුන් මරන්නාහට නුදුන් දේ ගන්නාහට, ගෙවල් බිඳින්නාට, මංපහරන්නාට, එක් ගෙයක් වටකර බඩු පැහැර ගන්නාහට, මග රැක සිට පැහැර ගන්නාට අන් අඹුවන්කරා යන්නාහට, බොරු කියන්නාට, කරන්නාහට, පාපය සිදුවෙයි. ආයුධ සහිත චක්‍රයෙන් යමෙක් පෘථුවියෙහි සත්වයන් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේද ඒ හේතුවෙන් පාපයෙක් ඇත පාපයාගේ පැමිණීමක් ඇත. සිඳිමින් සින්දවමින්. මරමින්. මරවමින්, පිසමින්, පිසවමින්, ගංගා නදියෙහි දකුණු තෙරට යන්නේද, ඒ හේතුවෙන් පාපයක් ඇත. පාපයාගේ පැමිණීමක් ඇත. දෙමින්, දෙවමින්, පුදමින්, පුදවමින් ගංගා නදියෙහි උතුරුතෙරට යන්නේද, ඒ හේතුවෙන් පිනක් ඇත. පින් රැස්වීමක් ඇත. දීමෙන් දමනයෙන් සංයමයෙන් සත්‍ය වචනයෙන් පිනක් ඇත. පින් රැස්වීමක් ඇත. මෙසේ කියන්නේද මෙබඳු දෘෂ්ටි ඇත්තේද? ඉදින් ඒ භවත් ශාස්තෲවරයාගේ වචනය සත්‍යනම් මට නිරපරාධ පිණිස පවතී තැති ගන්නාවූ හෝ තැති නොගන්නාවූ හෝ කිසිවෙකු මම නොපෙළම්ද, යම් හෙයකින් කයින් සංවරවූයෙමි වචනයෙන් සංවරවූයෙමි සිතින් සංවරවූයෙමියි කියාද, යම්හෙයකින් කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපදින්නෙමි කියාද, මේ දෙකට බැස ගත්තේ වෙමි. ඒ මට ප්‍රමොදය උපදී. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය උපදී ප්‍රීති සිත් ඇත්තාහුගේ ශරීරය සංසිඳුනේවේ සංසිඳුණු ශරීර ඇත්තේ සැපක් විඳියි, සැප ඇත්තාගේ සිත එකඟවේ. ගාමණිය, මේ ධර්ම සමාධියයි ඔබ එහි චිත්ත සමාධිය ලබන්නෙහි නම් මෙසේ ඔබ සැක කරන ස්වභාවය දුරු කරන්නෙහිය.
“ගාමණිය ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ පහවූ අභිධ්‍යා ඇත්තේ පහවූ ව්‍යාපාද ඇත්තේ නොමුළාවූයේ සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ උපෙක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිසාවක්, එසේම තුන් දිසාවක්, එසේ සතර දිසාවක්, මෙසේ උඩ යට සරස හැමතැන සර්වප්‍රකාරයෙන් සියල්ල සහිත මහත්වූ මහත්ගතවූ අප්‍රමාණවූ අවෛරවූ ව්‍යාපාද නැත්තාවූ ලොකය උපෙක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“හෙතෙම මෙසේ සිතයි. යම් මේ ශාස්තෲ කෙනෙක් දෙනලද්දෙහි විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත මහා දානයෙහි විපාක නැත. යහපත්කොට කරන ලද නපුරු කොට කරන ලද කර්මයන්ගේ ඵල විපාක නැත. මෙලොව නැත. පරලොව නැත. මවු නැත පියා නැත. ඔපපාතික සත්වයෝ නැත. යහපත් මාර්ගයෙහි පිළිපන් යමෙක් මෙලොවත් පරලොවත් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කෙරෙත්ද? එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැතැයි මෙබඳු වචන කියන්නේද, මෙබඳු දෘෂ්ටි ඇත්තේද, ඉදින් ඒ පින්වත් ශාස්තෲන්ගේ වචනය සත්‍යනම් මට නිරපරාධ පිණිස පවතී. මම තැති ගන්නාවූද, තැති නොගන්නාවූද, කිසිවෙකු නොපෙලමි. ඒ මම කයින් සංවරවූයෙමි වචනයෙන් සංවරවූයෙමි. සිතින් සංවරවූයෙමි කියාද, කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නෙමියි කියාද, මේ දෙකට බැසගත්තේ වෙමි. ඒ මට ප්‍රමොදය උපදී, ප්‍රමොදවූ මට ප්‍රීතිය උපදී. ප්‍රීති සිත් ඇත්තාගේ නාම කය සංසිඳෙයි. සංසිඳුනු නාම කය ඇත්තේ සැප විඳියි, සැප ඇත්තාගේ සිත සමාධියට පැමිණෙයි. ගාමණිය මේ ඒ ධර්ම සමාධියයි. ඔබ එහි ඉදින් චිත්ත සමාධිය ලබන්නෙහි නම් ඔබ මෙසේ මේ සැක කරන ස්වභාවය දුරුකරන්නේය.
“ගාමණිය, ඒ ආර්ය ශ්‍රාවකතෙම මෙසේ පහවූ දැඩි ලොභ ඇත්තේ පහවූ ව්‍යාපාද ඇත්තේ මුළානොවූයේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ උපෙක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිසාවක් එසේ තුන් දිසාවක්, එසේ සතර දිසාවක් මෙසේ උඩ යට සරස හැම තැන සර්වප්‍රකාරයෙන් සියල්ල සහිත මහත්වූ මහද්ගතවූ අප්‍රමාණවූ අවෛරවූ ව්‍යාපාද නැත්තාවූ මුළුලොකය උපෙක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසයකරයි.
“හෙතෙම යම් මේ ශාස්තෲවරයෙක් දෙන ලද්දෙහි විපාක ඇත. පුදන ලද්දෙහි විපාක ඇත මහාදානයෙහි විපාක ඇත. යහපත්කොට කරනලද, නපුරුකොට කරනලද කර්මයන්ගේ ඵල විපාක ඇත. මෙලොව ඇත. පරලොව ඇත. මවු ඇත. පියා ඇත. ඔපපාතික සත්වයෝ ඇත. යමෙක් මෙලොවද, පරලොවද තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කෙරෙත්ද, යහපත් මාර්ගයෙහි පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙසේ කියන මෙබඳු ලොකයෙහි ඇතැයි මෙසේ කියන්නේ වේද, මෙබඳු දෘෂ්ටි ඇත්තේ වේද, ඉදින් ඒ භවත් ශාස්තෲහුගේ වචනය ඇත්ත නම් මගේ නිරපරාධය පිණිස පවතී. මම තැති ගන්නාවූ හෝ තැති නොගන්නාවූ හෝ කිසිවෙක් නොපෙළමි. යම් ඒ මම කයින් සංවරවූයෙමි. වචනයෙන් සංවරවූයෙමි. සිතින් සංවරවූයෙමි කියාද, කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදින්නෙමි කියාද, මෙහි මේ දෙකටම බැසගත්තේ වෙමි ඒ මට ප්‍රමොදය උපදී, ප්‍රමොදවූවහුට ප්‍රීතිය පහළවෙයි. ප්‍රීති සිත් ඇත්තාහුගේ නාම කය සංසිඳෙයි. සංසිඳුණු නාම ඇත්තේ සැප විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිගත වෙයි. ගාමණිය, මේ ධම්ම සමාධියයි. ඉදින් ඔබ එහි චිත්ත සමාධිය ලබන්නෙහි නම් මෙසේ ඔබ මේ සැක කරන ස්වභාවය දුරු කරන්නේය.
“ගාමණිය, ඒ ආර්ය ශ්‍රාවකතෙම මෙසේ පහවූ දැඩි ලොභ ඇත්තේ පහවූ ව්‍යාපාද ඇත්තේ නොමුළාවූයේ සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ උපෙක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙරෙයි. එසේ දෙදිසාවක් එසේ තුන් දිසාවක් එසේ සතර දිසාවක් මෙසේ උඩ යට සරස හැමතැන සර්වප්‍රකාරයෙන් සියල්ල සහිත මහත්වූ මහද්ගතවූ අප්‍රමාණවූ අවෛරවූ ව්‍යාපාද නැත්තාවූ ලොකය උපෙක්ෂා සහගත සිතින් වාසය කරයි.
“හෙතෙම යම් මේ ශාස්තෲවරයෙක් කරන්නාට, කරවන්නාට, සිඳින්නාට, සින්දවන්නාට, පිසින්නාට, පිසවන්නාට, ශොක කරන්නාට, ක්ලාන්ත කරන්නාට, කම්පාකරන්නාට, කම්පා කරවන්නාහට, සතුන් මරන්නාට, නුදුන් දේ ගන්නාහට, ගෙවල් බිඳින්නාට, මං පහරන්නාට, එක් ගෙයක් වටකර බඩු පැහැරගන්නාට, මග රැක සිට පැහැරගන්නාට අන් අඹුවන් කරා යන්නාහට, බොරු කියන්නාහට, කරන්නාහට පාපයක් නැත. ආයුධ සහිත චක්‍රයකින් යමෙක් මේ පෘථුවියෙහි ප්‍රාණින් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නාහට ඒ හේතුවෙන් පාපයක් නැත පාපයාගේ පැමිණීමක් නැත. හිංසා කරමින්, මරවමින්, සිඳිමින්, සින්ඳවමින් පිසමින්, පිසවමින්, ගංගානදියෙහි දකුණු තෙරට යන්නේද ඒ හේතුවෙන් පාපයක් නැත. පාපයාගේ රැස්වීමක් නැත දෙමින්, දෙවමින්, පුදමින් පුදවමින් ගංගානදියෙහි උතුරු තෙරට යන්නේද, ඒ හේතුවෙන් පිනක් නැත. පින් රැස්වීමක් නැත. දීමෙන්, දමනයෙන්, සංයමයෙන් සත්‍ය වචනයෙන් පිනක්නැත. පින් රැස්වීමක් නැත. ඉදින් ඒ පින්වත් ශාස්තෲහුගේ වචනය සත්‍යනම් මට නිපරාධය පිණිස පවතී. මම තැති ගන්නාවූ හෝ නොගන්නාවූ හෝ කිසිවෙක් නොපෙළම්ද, ඒ මම කයින් සංවරවූයෙමි. වචනයෙන් සංවරවූයෙමි. සිතින් සංවරවූයෙමි කියාද, ඒ මම යම්හෙයකින් කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදින්නෙමි කියාද, දෙපක්ෂයටම බැස ගත්තෙමි. ඒ මට ප්‍රමොදය උපදී. ප්‍රමුදිතවූ ඔහුට ප්‍රීතිය පහළ වෙත්. ප්‍රීති සිත් ඇත්තහුගේ නාම කය සංසිඳුනේ වේ. සංසිඳුණු නාම කය ඇත්තේ සැප විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධියට පැමිණේ. ගාමණිය, මේ ධර්ම සමාධියයි. ඉදින් ඔබ එහි චිත්ත සමාධිය ලබන්නෙහි නම් මෙසේ ඔබ මේ සැක කරන ස්වභාවය දුරු කරන්නෙහිය.
“ගාමණිය, ඒ ආර්යශ්‍රාවකතෙම මෙසේ පහවූ දැඩි ලොභ ඇත්තේ පහවූ ව්‍යාපාද ඇත්තේ නොමුළාවූයේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ උපෙක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේ දෙදිසාවක්, එසේ තුන් දිසාවක්, එසේ සතර දිසාවක්, මෙසේ උඩ යට සරස හැම තැන සර්වප්‍රකාරයෙන් සියල්ල සහිත මහත්වූ මහත්ගතවූ අප්‍රමාණවූ අවෛරවූ ව්‍යාපාද රහිත ලොකය උපෙක්ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
හෙතෙම මෙසේ සිතයි. යම් මේ ශාස්තෲවරයෙක් කරන්නාට, කරවන්නාට, සිඳින්නාට, සින්දවන්නාට, පිසින්නාට, පිසවන්නාට, ශොකකරන්නාට, ක්ලාන්ත කරවන්නාට, කම්පා කරන්නාට, කම්පා නොකරන්නාහට, ප්‍රාණඝාතකරන්නාට, නුදුන්දේ ගන්නාහට, ගෙවල්බිඳින්නාට, මංපහරන්නාට, එක් ගෙයක් වටකර බඩු පැහැර ගන්නාට, මගරැකසිට පැහැර ගන්නාට පරදාරාවන් කරා යන්නාට, බොරු කියන්නාහට, කරන්නාහට පාපය සිදුවේ. ආයුධ සහිත චක්‍රයකින් යමෙක් මේ පෘථුවියෙහි ප්‍රාණින් එක් මස් ගොඩක් එක් මස් පිඩක් කරන්නේද ඒ හේතුවෙන් පාපයක් ඇත පාපයාගේ රැස්වීමක් ඇත. හිංසා කරමින්, මරවමින්, සිඳිමින්, සින්ඳවමින් පිසමින්, පිසවමින්, ගංගානදියෙහි දකුණුතෙරට යන්නේද, ඒ හේතුවෙන් පාපයක් ඇත. පාපයාගේ පාපයාගේ පැමිණීමක් ඇත. දෙමින් දෙවමින් ගංගානදියෙහි උතුරු තෙරට යන්නේද, ඒ හේතුවෙන් පිනක් ඇත. පින් රැස්වීමක් ඇතැයි මෙසේ කියන මෙවැනි දෘෂ්ටි ඇතිවේද, ඉදින් ඒ භවත් ශාස්තෲහුගේ වචනය සත්‍යය නම් මට නිපරාධය පිණිස පවතී. මම තැතිගන්නාවූ හෝ තැති නොගන්නාවූ හෝ කිසිවෙකු නොපෙළමි. යම්හෙයකින් මම කයින් සංවර වූයෙමි. වචනයෙන් සංවර වූයෙමි. සිතින් සංවර වූයෙමි. කියාද කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදින්නෙමි කියාද, මේ දෙකට බැසගත්තේ වෙමි. ඒ මට ප්‍රමොදය පහළවේ. ප්‍රමොද වූවහුට ප්‍රීතිය පහළවේ. ප්‍රීති සිත් ඇත්තාගේ නාමකය සංසිඳුනේවේ. සංසිඳුණු නාමකය ඇත්තේ සැප විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධියට පැමිණෙයි.
“ගාමණිය, මේ ධර්මසමාධියයි ඉදින් ඔබ මෙහි චිත්ත සමාධිය ලබන්නෙහි නම් මෙසේ ඔබ මේ සැක කරන ස්වභාවය දුරුකරන්නෙහිය.” මෙසේ වදාළකල්හි පාටලිය ගාමණිතෙම භාග්‍යවතුන් වහන්සේට “ස්වාමිනි, යහපත ස්වාමීනි, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද වැසුණ දෙයක් විවෘතකරන්නේද, මංමුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තාහු රූප දකිත්වයි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය දෙශනා කරන ලදී. ස්වාමීනි, ඒ මම ධර්මයද භික්ෂු සංඝයාද සහිත භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට යමි. අද පටන් ජීවිතාන්තය දක්වා සරණගත උපාසකයෙකුකොට මා දරණසේක්වායි” කීයේය.
ගාමණි සංයුත්තය නිමි.