සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

4. පටිපත්ති වර්ගය

7. බ්‍රහ්මඤ්ඤඵල සූත්‍රය

“මහණෙනි, තොපට ශ්‍රෙෂ්ඨභාවයද ශ්‍රෙෂ්ඨභාවයාගේ ඵලයද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, ශ්‍රෙෂ්ඨභාවය නම් කුමක්ද? මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි. ඒ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුයි. මහණෙනි, මේ ශ්‍රෙෂ්ඨභාවයයි කියනු ලැබේ.

“මහණෙනි, ශ්‍රෙෂ්ඨභාවයාගේ ඵලය නම් කවරේද? සෝවාන් ඵලය, සකෘදාගාමි ඵලය, අනාගාමි ඵලය, අර්හත් ඵලය, යන මොහුයි. මහණෙනි, මොව්හු ශ්‍රෙෂ්ඨභාවයාගේ ඵලයයි කියනු ලැබේයයි’ වදාළසේක.