සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

6. සූරිය පෙය්‍යාල වර්ගය

1. කළ්‍යාණමිත්තතාපුබ්බංගම සූත්‍රය

[2] “මහණෙනි, යම් ඒ අරුණෝදයක්වේද? එය උදාවන සූර්යයාට පූර්වාංගමවේ. පූර්ව නිමිත්තවේ. මහණෙනි, එමෙන්ම යම් ඒ කල්‍යාණ මිත්‍රයින් ඇතිබවක්වේද එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උදාවන්නාවූ භික්ෂුවට පූර්වංගමය පූර්ව නිමිත්තය. මහණෙනි, කළ්‍යාණමිත්‍රයින් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි. යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, කළ්‍යාණ මිත්‍රයින් ඇති භික්ෂුව කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයිද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයිද?

[3] “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම රාගය දුරු කිරීම කෙළවරකොට ඇති ද්වෙෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මොහය දුරුකිරීම කෙළවරකොට ඇති, සම්‍යක් දෘෂ්ටිය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වෙෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මොහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්‍යක් සංකල්පය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති ද්වෙෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මොහය දුරු කිරීම කෙළවරකොට ඇති සම්‍යක් වචනය වඩයි. රාගය දුරු කිරීම කෙළවරකොට ඇති, ද්වෙෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මොහය දුරුකිරීම කෙළවරකොට ඇති, සම්‍යක් කර්මාන්තය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වෙෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මොහය දුරුකිරීම කෙළවරකොට ඇති, සම්‍යක් ආජීවය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වෙෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මොහය දුරුකිරීම කෙළවරකොට ඇති, සම්‍යක් ව්‍යායාමය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වෙෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මොහය දුරුකිරීම කෙළවරකොට ඇති, සම්‍යක් සතිය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වෙෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මොහය දුරුකිරීම කෙළවරකොට ඇති, සම්‍යක් සමාධිය වඩයි.

[4] “මහණෙනි, මෙසේ වනාහි කළ්‍යාණ මිත්‍රයින් ඇති මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.