සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

8. එකධම්ම පෙය්‍යාල 2 වර්ගය

1. කල්‍යාණමිත්ත සම්පදා එකධම්ම සූත්‍රය

[1] මා විසින් මෙසේ අසනලදී එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

[2] “මහණෙනි, යම් ධර්මයක් හේතුකොට ගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නූපදීද, උපදින්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද, මහණෙනි, යම් ඒ කල්‍යාණ මිත්‍රයින් ඇති බවක් වේද, එබඳුවූ අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොදකිමි. මහණෙනි, කල්‍යාණ මිත්‍රයින් ඇති මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමතිවිය යුතුයි. මහණෙනි, කල්‍යාණ මිත්‍රයින් ඇති මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේද, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේද?

[3] “මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් වචනය වඩයි විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් කර්මාන්තය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් ආජීවය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් ව්‍යායාමය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් සතිය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් සමාධිය වඩයි.

[4] “මහණෙනි, මෙසේ වනාහි කල්‍යාණ මිත්‍රයින් ඇති මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේයයි” වදාළසේක.