සංයුත්තනිකායො

මහා වර්ගය

2. බොජ්ඣංග සංයුත්තය

8. නිරොධ වර්ගය

10. නිරොධ සඤ්ඤා මහානිසංස සූත්‍රය

“මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් කරන ලද්දාවූ නිරොධ සඤ්ඤාව මහත් ඵල ඇත්තී වෙයි. මහත් අනුසස් ඇත්තී වෙයි. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල කරන ලද්දාවූ නිරොධ සඤ්ඤාව මහත්ඵල ඇත්තී වෙයිද, මහත් අනුසස් ඇත්තී වෙයිද?

“මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවෙකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරොධ සඤ්ඤාවෙන් යුක්තවූ සති සම්බොජ්ඣංගය වඩයිද

“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරොධ සඤ්ඤාවෙන් යුක්තවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරොධ සඤ්ඤාවෙන් යුක්තවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරොධ සඤ්ඤාවෙන් යුක්තවූ පීති සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරොධ සඤ්ඤාවෙන් යුක්තවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරොධ සඤ්ඤාවෙන් යුක්තවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරොධ සඤ්ඤාවෙන් යුක්තවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ, මෙසේ බහුල කරන ලද්දාවූ නිරොධ සඤ්ඤාව මහත් ඵල ඇත්තීවෙයි. මහත් අනුසස් ඇත්තී” වෙයි.

“මහණෙනි, නිරොධ සඤ්ඤාව වැඩීමෙන් බහුල කිරීමෙන් ඵල දෙකක් අතරෙන් එක් ඵලයක් කැමතිවිය යුතුයි. මේ ආත්මභාවයෙහිදීම රහත්වීම හෝ පඤ්චස්කන්ධය ඉතිරිව ඇතිකල්හි අනාගාමි බව හෝ යන දෙකයි.

“මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුලකරන ලද්දාවූ නිරොධ සඤ්ඤාවෙන් මේ ආත්මභාවයෙහිදීම රහත්වීම හෝ පඤ්චස්කන්ධය ඉතිරිව ඇතිකල්හි අනාගාමිබව හෝ යන දෙකින් එකක් කැමතිවිය යුතුයි. මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවෙකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ නිවනට නැමුණු නිරොධ සඤ්ඤාවෙන් යුක්තවූ සතිසම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරොධ සඤ්ඤාවෙන් යුක්තවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරොධ සඤ්ඤාවෙන් යුක්තවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරොධ සඤ්ඤාවෙන් යුක්තවූ පීති සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරොධ සඤ්ඤාවෙන් යුක්තවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරොධ සඤ්ඤාවෙන් යුක්තවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරොධ සඤ්ඤාවෙන් යුක්තවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ නිරොධ සඤ්ඤාවෙන් මේ ආත්මභාවයෙහිදීම රහත්වීම හෝ පංචස්කන්ධය ඉතිරිව ඇතිකල්හි අනාගාමි බව හෝ යන ඵල දෙකින් එක්තරා ඵලයක් කැමතිවිය යුතුය.

“මහණෙනි, වඩනා ලද්දාවූ බහුල කරන ලද්දාවූ නිරොධ සඤ්ඤාව මහත්වූ අර්ථය පිණිස පවතියි. මහත්වූ යොගයන්ගේ ක්ෂය කිරීමයයි කියන ලද නිවන් පිණිස පවතියි. මහත්වූ සංවේගය පිණිස පවතියි. මහත්වූ පහසු විහරණය පිණිස පවතියි. කෙසේ වඩනා ලද කෙසේ බහුල කරන ලද නිරොධ සඤ්ඤාව මහත්වූ අර්ථය පිණිස පවතීද, මහත්වූ යොගයන්ගේ ක්ෂය කිරීම පිණිස පවතීද, මහත්වූ සංවේගය පිණිස පවතීද, මහත්වූ පහසු විහරණය පිණිස පවතීද?

“මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවෙකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ නිරොධ සඤ්ඤාවෙන් යුත් සති සම්බොජ්ඣංගය වඩයිද,

“විවෙකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ නිරොධ සඤ්ඤාවෙන් යුත් ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,

“විවෙකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ නිරොධ සඤ්ඤාවෙන් යුත් විරිය සම්බොජ්ඣංගය වඩයිද,

“විවෙකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ නිරොධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ නිරොධ සඤ්ඤාවෙන් යුත් පීති සම්බොජ්ඣංගය වඩයිද,

“විවෙකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ නිරොධ සඤ්ඤාවෙන් යුත් පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,

“විවෙකය ඇසුරු කළ, විරාගය අසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ නිරොධ සඤ්ඤාවෙන් යුත් සමාධි සම්බොජ්ඣංගය වඩයිද,

“මේ සස්නෙහි මහණතෙම විවෙකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ නිරොධ සඤ්ඤාවෙන් යුත් උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද මහණෙනි, මෙසේ වඩනා ලද්දාවූ, මෙසේ බහුල කරන ලද්දාවූ නිරොධ සඤ්ඤාව මහත්වූ අර්ථය පිණිස පවතියි. මහත්වූ යොගයන්ගේ ක්ෂය කිරීමයයි කියන ලද නිවන් පිණිස පවතියි. මහත්වූ සංවේගය පිණිස පවතියි. මහත්වූ පහසු විහරණය පිණිස පවතියි”

නිරොධ වර්ගය නිමි.