සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

4. සුඛින්ද්‍රිය වර්ගය

6. පඨම වෙදනින්ද්‍රිය විභඞග සූත්‍රය

[2] “මහණෙනි, මේ පඤ්චෙන්ද්‍රියයෝ පසක් වෙත්. කවර පසෙක්ද? සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, සොමනස්සින්ද්‍රිය, දොමනස්සින්ද්‍රිය, උපෙක්ඛින්ද්‍රිය යනුයි.

[3] “මහණෙනි, සුඛින්ද්‍රිය කවරේද? මහණෙනි, යම් ඒ කායික සැපයක් වේද, කායික මිහිරක් වේද, කාය ස්පර්ශයෙන් උපන් සැපවූ මිහිරිවූ විඳීමක්වේද, මහණෙනි, මේ සුඛින්ද්‍රියයයි කියනු ලැබේ.

[4] මහණෙනි, දුක්ඛින්ද්‍රිය කවරේද? මහණෙනි, යම් ඒ කායික දුකක් වේද, කායික අවහිරයක් වේද, කාය ස්පර්ශයෙන් උපන් දුක්වූ අමිහිරිවූ විඳීමක් වේද, මහණෙනි, මෙය දුක්ඛින්ද්‍රියයයි කියනු ලැබේ.

[5] “මහණෙනි, සොම්නස්සින්ද්‍රිය කවරේද? මහණෙනි, යම් ඒ මානසික සැපයක් වේද, මානසික මිහිරක් වේද, මනො ස්පර්ශයෙන් උපන් සැපවූ මිහිරිවූ විඳීමක් වේද, මහණෙනි, මේ සොමනස්සින්ද්‍රියයයි කියනු ලැබේ.

[6] “මහණෙනි, දොමනස්සින්ද්‍රිය කවරේද? මහණෙනි, යම් ඒ මානසික දුකක්වේද? මානසික අමිහිරක් වේද? මනො ස්පර්ශයෙන් උපන් දුක්වූ අමිහිරිවූ විඳීමක්වේද? මහණෙනි, මේ දොමනස්සින්ද්‍රියයයි කියනු ලැබේ.

[7] “මහණෙනි, උපෙක්ඛින්ද්‍රිය කවරේද? යම් ඒ කායිකවූද, චෛතසිකවූද, මිහිරිද නොවූ අමිහිරිද නොවූ විඳීමක්වේද, මහණෙනි මේ උපෙක්ඛින්ද්‍රියයයි කියනුලැබේ මහණෙනි, මොව්හු වනාහි පඤ්චෙන්ද්‍රියයෝයි.”