සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

6. ඡට්ඨ වර්ගය

1. සාලාගාම සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් රට සාලානම් බමුණු ගම වාසය කළසේක එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි, කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

[2] ‘මහණෙනි, යම්සේ යම් ඒ තිරිසන්ගත සත්වයෝ වෙත්ද, ඔවුන්ගෙන් සිංහ මෘග රාජතෙමේ යම් බලයෙන් වේගයෙන් සූරකමින් අග්‍රවේද, මහණෙනි, එපරිද්දෙන් යම් බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද, ඔවුන්ගෙන් අවබෝධයෙන් පඤ්ඤින්ද්‍රිය අග්‍රවේ.

[3] “මහණෙනි. බොධිපාක්ෂික ධර්මයෝ කවරේද? මහණෙනි, සද්ධින්ද්‍රිය, බොධිපාක්ෂික ධර්මයකි එය අවබොධය පිණිස පවතී. විරියින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි එය අවබොධය පිණිස පවතී. සතින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබොධ පිණිස පවතී. සමාධින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබොධය පිණිස පවතී. පඤ්ඤින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබොධය පිණිස පවති.

[4] “මහණෙනි, යම්සේ තිරිසන් ගත සත්වයෝ වෙත්ද, ඔවුන්ගෙන් සිංහරාජ තෙමේ බලයෙන් වේගයෙන් සූරකමින් අග්‍රවෙයි. මහණෙනි, එපරිද්දෙන් යම් ඒ බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද, යම් ඒ අවබොධයෙන් පඤ්ඤින්ද්‍රියය ඔවුන්ගෙන් අග්‍රවේ.”