සංයුත්තනිකායො
මහා වර්ගය
11. සොතාපත්ති සංයුත්තය
4. පුඤ්ඤාභිසන්ද වර්ගය
6. සභාගත සූත්රය
“මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ සතුටු සිතැති දෙවියෝ සභාවට ගියාහු මෙසේ කථාකෙරෙත්. කවර නම් සතරකින්ද?
(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 2 වෙනි ඡෙදය මෙනි.)
‘යම් ඒ දේවතාකෙනෙක් බුදුරදුන් කෙරෙහි නොසැලෙන සැදැහැයෙන් යුක්තවූවාහුය. මෙලොවින් චුතවී දෙව්ලොව උපන්නාහුද, ඒ දේවතාවන්ට මෙබඳු අදහසක් වෙයි. අපි වනාහි යම් ලෙසකින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූවාහු මෙලොවින් චුතවීමෙන් මේ දෙව්ලොව උපන්නමෝද එලෙසින් බුදුරදුන් කෙරෙහි නො සැලෙන සැදැහැයෙන් යුක්තවූයේ ආර්ය්යශ්රාවක තෙමේද දෙවියන් වෙත එනුමැනවයි’ කියායි
(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 4 වෙනි ඡෙදය මෙනි.)
“යම් ඒ දේවතා කෙනෙක් ධර්මය කෙරෙහි නොසැලෙන සැදැහැයෙන් යුක්තවූවාහු මෙලොවින් චුතවීමෙන් දෙව්ලොව උපන්නාහුද ඒ දේවතාවනට මෙබඳු සිතක් වෙයි. යම් ලෙසකින් ‘අපි වනාහි ධර්මය කෙරෙහි නොසැලෙන සැදැහැයෙන් යුක්තවූවෝ එලොවින් චුතව මෙහි උපන්නමෝද එලෙසින් ධර්මය කෙරෙහි අචල ශ්රද්ධාවෙන් යුක්තවූ ආර්ය්ය ශ්රාවකතෙමේද දෙවියන් වෙත එනුමැනව’ කියායි.
(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 6 වෙනි ඡෙදය මෙනි.)
යම් ඒ දේවතා කෙනෙක් සංඝයා කෙරෙහි නොසැලෙන සැදැහැයෙන් යුක්තවූවාහු මෙලොවින් චුතවීමෙන් දෙව්ලොව උපන්නාහුද ඒ දේවතාවන්ට මෙබඳු සිතක් වෙයි. යම් ලෙසකින් ‘අපි වනාහි සංඝයා කෙරෙහි නොසැලෙන සැදැහැයෙන් යුක්තවූවාහු එලොවින් චුතවීමෙන් මෙහි උපන්නමෝද, එලෙසින් සංඝයාකෙරෙහි අචල ශ්රද්ධාවෙන් යුක්තවූයේ ආර්ය්යශ්රාවක තෙමේද, දෙවියන් වෙත එනු මැනවි’ කියායි.
“තවද මහණෙනි, ආර්ය්යශ්රාවකතෙමේ නොකැඩුනාවූ, සිදුරු නොවූ, කබර නොවූ, කැළල්නොවූ, නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්රශංසා කරන ලද්දාවූ තෘෂ්ණාදෘෂ්ටීන් විසින් පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවත්නාවූ ආර්ය්යයන් කැමැති ශීලයෙන් යුක්තවූයේ වෙයිද,
“යම් ඒ දේවතා කෙනෙක් ආර්ය්යයන් කැමතිවූ සීලයෙන් යුක්තවූවාහු මෙලොවින් චුතවීමෙන් දෙව්ලොව උපන්නාහුද, ඒ දෙවතාවන්ට මෙබඳු සිතක් වෙයි. යම්බඳුවූ ‘අපි වනාහි ආර්ය්යයන් කැමැති සීලයෙන් යුක්තවූවාහුද එයින් චුතවීමෙන් මෙහි උපන්නමෝද ආර්ය්යශ්රාවක තෙමේද එබඳුවූ ආර්ය්යයන් කැමතිවූ සීලයෙන් යුක්තවූයේ දෙවියන් වෙත එනු මැනවි’ කියායි.
“මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූ සතුටු සිත් ඇති දෙවියෝ සභාවට ගියාහු මෙසේ කථා කෙරෙත්.”