සංයුත්තනිකායො
මහා වර්ගය
11. සොතාපත්ති සංයුත්තය
6. සප්පඤ්ඤ වර්ගය
4. අස්සාසනිය ධම්ම (ගිලායන) සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත්පුර සමීපයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසනසේක. එකල වනාහි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුරු මැසීම කරත්. සිව්රු මැසීම නිමවූ කල්හි භාග්‍යවතුන් වහන්සේ තුන්මසකින් චාරිකාවෙහි වඩින්නේය කියායි. මහානාම ශාක්‍යතෙම වනාහි බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ සිව්රු මැසීම කරත්. නිමවූ සිවුර ඇති භාග්‍යවතුන් වහන්සේ තුන් මසකින් චාරිකාවෙහි වඩින්නේයයි ඇසුවේය.
එකල මහානාම ශාක්‍යතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ ස්වාමීනි, බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ සිවුරු මැසීම කරත්. නිමවන ලද සිවුර ඇති භාග්‍යවතුන් වහන්සේ තෙමසකින් චාරිකාවෙහි වඩින්නේය. යන මෙය මා විසින් අසනලදී. ස්වාමීනි නුවණැති (සෝවාන්වූ) උපාසකයෙක් විසින් රෝගීවූ දුක්ඛිතවූ දැඩි ගිලන්වූ නුවණැති (සෝවාන්වූ) උපාසකතෙම අවවාද කටයුතුය යන මෙය භාග්‍යවතුන් වහන්සේ වෙතින් නොම අසනලදී. භාග්‍යවතුන් වහන්සේ හමුවෙන් නොම පිළිගන්නා ලදී.” කියායි.
“මහානාමයෙනි, නුවණැති (සෝවාන්වූ) උපාසකයෙකු විසින් රෝගීවූ දුකට පැමිණියාවූ දැඩි ගිලන්වූ (සෝවාන්වූ) උපාසකතෙම අස්වැසියයුතු දහම් සතරෙන් අස්වැසිය යුත්තේය, ආයුෂ්මතුන්හට (මේ ඡෙදයේ ඉතුරු කොටස පුඤ්ඤාභිසන්ද වර්ගයෙහි 1 වන සූත්‍රයේ 2, 4, 6, 8 වෙනි ඡෙදය මෙනි) එනිසා ආයුෂ්මත්තෙම සැනසෙනු මැනවි කියායි.
මහානාමයෙනි, නුවණැති උපාසකයා විසින් රෝගීවූ දුක්ඛිතවූ දැඩි ගිලන්වූ උපාසකතෙමේ මේ සතර වැදෑරුම් අස්වැසීම් ධර්මයන්ගෙන් අස්වසා මෙසේද කියයුත්තේය, ‘ආයුෂ්මතුන් තුළ මව්පියන් කෙරෙහි අපෙක්ෂාවක් ඇත්තේද?” කියායි. ඉදින් හෙතෙම ‘මාතුළ මව්පියන් කෙරේ අපෙක්ෂාව ඇත්තේයයි’ මෙසේ කීයේ නම් මෙසේ කියයුතු වන්නේය. ආයුෂ්මත් තෙමේද මරණය ස්වභාවකොට ඇත්තෙකි, ඉදින් ‘ආයුෂ්මත් තෙමේ මව්පියන් කෙරේ අපෙක්ෂා කරන්නේද ඒත් මැරෙන්නේමය. ඉදින් ආයුෂ්මත්තෙමේ මව්පියන් කෙරේ අපෙක්ෂාවක් ඇතිකර නොගන්නේද ඒත් මැරෙන්නේමය. ඉදින් මව්පියන් කෙරේ ආයුෂ්මතුන්ගේ යම් අපෙක්ෂාවක් ඇත්නම් එය දුරුකරව’ කියායි.
“හෙතෙම ඉදින් මා තුළ මව්පියන් කෙරේ යම් අපෙක්ෂාවක් වීනම් එය ප්‍රහීනවූයේ යයි කියයි නම් ඔහුට මෙසේ කිවයුතු වන්නේය. ‘ආයුෂ්මතුන්ට අඹු දරුවන් කෙරෙහි අපෙක්ෂාවක් ඇත්තේද?’ කියායි. ඔහු ‘මට අඹු දරුවන් කෙරෙහි අපෙක්ෂාවක් ඇත්තේයයි’ ඉදින් කියන්නේ නම් ඔහුට මෙසේ කියයුතු වන්නේය. ‘නිදුකාණනි, ආයුෂ්මත් තෙමේ මරණය ස්වභාවය කොට ඇත්තේය. ආයුෂ්මත් තෙමේ අඹු දරුවන් කෙරෙහි අපෙක්ෂා කරන්නේ නමුදු මැරෙන්නේමය. ආයුෂ්මත් තෙමේ අඹු දරුවන් කෙරේ අපෙක්ෂා නොකරන්නේ නමුදු මැරෙන්නේමය. ඉදින් අඹු දරුවන් කෙරේ ආයුෂ්මත්හුගේ යම් අපෙක්ෂාවක් වන්නීද, එය දුරුකරව’ කියායි. ‘අඹු දරුවන් කෙරේ මාගේ යම් අපෙක්ෂාවක් වූවාද එය ප්රහීනවූයේයයි’ ඉදින් හෙතෙම කියන්නේ නම් ඔහුට මෙසේ කිය යුතුය. ‘ආයුෂ්මතුන්ට මිනිස් පස් කම් සැපයෙහි අපෙක්ෂාවක් ඇත්තේද?’ කියායි. ‘ඉදින් මට මිනිස් පස්කම් සැපයෙහි අපෙක්ෂාව ඇත්තේයයි’ ඉදින් හෙතෙම කියන්නේ නම් ඔහුට මෙසේ කිය යුතුය. ‘ඇවැත්නි මනුෂ්‍ය කාමගුණයන්ට වඩා දිව්‍යමයවූ කාමගුණයෝ
අතිශයින් උසස්ය. අතිශයින් ප්‍රණීතය. ආයුෂ්මත් තෙමේ මනුෂ්‍ය කාම ගුණයන් කෙරෙන් සිත ඉවත්කොට චාතුර්මහාරාජික දෙවියන් කෙරේ සිත පිහිටවනු යෙහෙක’ කියායි.
“හෙතෙම ‘මා විසින් මනුෂ්‍ය කාම ගුණයන්ගෙන් සිත ඉවත් කරන ලදී. චාතුර්මහාරාජික දෙවියන් කෙරෙහි සිත පිහිටුවන ලදැයි’ ඉදින් මෙසේ කියන්නේ නම් ඔහුට මෙසේ කියයුතු වන්නේය. ‘ඇවැත්නි, චාතුර්මහාරාජික දෙවියන්ට වඩා තව්තිසා වැසි දෙවියෝ අතිශයින් උසස්ය අතිශයින් ප්‍රණීතය, ආයුෂ්මත් තෙමේ චාතුර්මහාරාජික දෙවියන් කෙරෙන් සිත ඉවත්කොට තව්තිසා වැසි දෙවියන් කෙරෙහි සිත පිහිටුවනු මැනව’ කියායි
“හෙතෙම ඉදින් ‘මාගේ සිත චාතුර්මහාරාජික දෙවියන් කෙරෙන් ඉවත් කරන ලදී. තව්තිසා දෙවියන් කෙරෙහි සිත පිහිටුවන ලදැයි’ ඉදින් මෙසේ කියන්නේ නම් ඔහුට මෙසේ කියයුතු වන්නේය. ‘ඇවැත්නි, තව්තිසා වැසි දෙවියන්ට වඩා යාම දෙවියෝ අතිශයින් උසස්ය, ප්‍රණීතතරය. ආයුෂ්මත් තෙමේ තව්තිසා දෙවියන් කෙරෙන් සිත ඉවත්කොට යාම දෙවියන් කෙරෙහි සිත පිහිටුවනු මැනව’ කියායි.
“හෙතෙම ‘මාගේ සිත තව්තිසා වැසි දෙවියන් කෙරෙන් ඉවත් කරන ලද්දේය. යාම දෙවියන් කෙරෙහි මාගේ සිත පිහිටුවන ලදැයි’ ඉදින් මෙසේ කියන්නේ නම් ඔහුට මෙසේ කියයුතු වන්නේය. ‘ඇවැත්නි, යාම දෙවියන්ට වඩා තුසිත දෙවියෝ අතිශයින් උසස්ය, අතිශයින් ප්‍රණීතය. ආයුෂ්මත් තෙමේ යාම දෙවියන් කෙරෙන් සිත ඉවත්කොට තුසිත දෙවියන් කෙරෙහි සිත පිහිටුවනු මැනව’ කියායි.
“හෙතෙමේ ‘මාගේ සිත යාම දෙවියන් කෙරෙන් ඉවත් කරන ලදී. තුසිත දෙවියන් කෙරෙහි සිත පිහිටුවන ලද්දේ යයි’ ඉදින් මෙසේ කියන්නේ නම් ඔහුට මෙසේ කිවයුතු වන්නේය. ‘ඇවැත්නි, තුසිත දෙවියන්ට වඩා නිර්මාණරතී දෙවියෝ වඩා උසස්ය වඩා ප්‍රණීතය. ආයුෂ්මත් තෙමේ තුසිත දෙවියන් කෙරෙන් සිත ඉවත්කොට නිර්මාණරතී දෙවියන් කෙරෙහි සිත පිහිටුවනු මැනව’ කියායි.
“හෙතෙමේ ‘මාගේ සිත තුසිත දෙවියන් කෙරෙන් ඉවත් කරන ලදී නිර්මාණරතී දෙවියන් කෙරෙහි මාගේ සිත පිහිටුවන ලදැයි’ ඉදින් මෙසේ කියන්නේ නම් ඔහුට මෙසේ කියයුතු වන්නේය. ‘ඇවැත්නි, නිර්මාණරතී දෙවියන්ට වඩා පරනිර්මිත වසවර්තී දෙවියෝ විශෙෂයෙන් උසස්ය. විශෙෂයෙන් ප්‍රණීතය. ආයුෂ්මත් තෙමේ නිර්මාණරතී දෙවියන් කෙරෙන් සිත ඉවත්කොට පරනිර්මිත වසවර්තී දෙවියන් කෙරෙහි පිහිටුවනු මැනව’ කියායි.
“හෙතෙමේ ‘මාගේ සිත නිර්මාණරතී දෙවියන් කෙරෙන් ඉවත් කරන ලදී. පරනිර්මිත වසවර්තී දෙවියන් කෙරෙහි මාගේ සිත පිහිටුවන ලද්දේයයි’ ඉදින් කියන්නේ නම් ඔහුට මෙසේ කියයුතු වන්නේය. ‘ඇවැත්නි, පරනිර්මිත වසවර්තී දෙවියන්ට වඩා බඹලොව අතිශයින් උසස්ය, අතිශයින් ප්‍රණීතය. ආයුෂ්මත් තෙමේ පරනිර්මිත වසවර්තී දෙවියන් කෙරෙන් සිත ඉවත්කොට බඹලොව සිත පිහිටුවනු මැනව’ කියායි.
“හෙතෙමේ ‘මාගේ සිත පරනිර්මිත වසවර්තී දෙවියන් කෙරෙන් ඉවත් කරන ලදී. බඹලොව සිත පිහිටුවන ලදැයි’ ඉදින් මෙසේ කියන්නේ නම් ඔහුට මෙසේ කියයුතු වන්නේය. ‘ඇවැත්නි, බ්‍රහ්ම ලෝකයද අනිත්‍යය. අස්ථීරය. පඤ්චස්කන්ධයට ඇතුළත්ය. (එහෙයින්) ආයුෂ්මත් තෙමේ බඹලොවින් සිත ඉවත්කොට පඤ්චස්කන්ධය නිරොධයෙහි සිත යොමු කරව’ යනුයි.
“හෙතෙම ‘මාගේ සිත බඹලොවින් ඉවත් කරන ලදී. සක්කාය නිරොධයෙහි සිත යොමු කරන ලදැයි’ ඉදින් කියන්නේ නම් මහානාමයෙනි, මෙසේ වනාහි කෙලෙසුන් කෙරෙන් මිදුනු සිත් ඇති, රහත් ඵලයට පැමිණි උපාසකයාගේද සියක් වස් ගිය මිදුණු සිත් ඇති භික්ෂූවගේද විමුක්තිය අතර කිසියම් වෙනසක් නොකියමිය” වදාළේය.