සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
5. පපාත වර්ගය
1. ලොකචින්තා සූත්‍රය
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ කලන්දක නිවාප නම් වෙළුවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්හට අඬගා මෙසේ වදාළේය.
[2] “මහණෙනි, පෙරවූ දෙයක් කියමි. එක්තරා පුරුෂයෙක් රජගහ නුවරින් නික්මී, ලෝකය ගැන සිතන්නෙමියි’ කියා, සුමාගධ නම් පොකුණ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ සුමාගධ නම් පොකුණු තෙර ලෝකය ගැන සිතමින් හුන්නේය. මහණෙනි, ඒ පුරුෂතෙම වනාහි සුමාගධ නම් පොකුණෙහි නෙළුම් දණ්ඩක සිදුරු වලට ඇතුල් වන්නාවූ සිව්රඟ සෙනඟක් දැක්කේය. දැක, ඔහුට මේ සිත ඇතිවිය. ‘මම නම් පිස්සෙක්මි. මම නම් වික්ෂිප්ත සිත් ඇත්තෙක්මි. මා විසින් ලොකයෙහි නැති දෙයක් දක්නා ලද්දේය’ කියායි.
[3] “මහණෙනි, ඉක්බිති ඒ පුරුෂතෙමේ රජගහනුවරට පැමිණ මහාජනයා හට මෙය කීයේය. පින්වත්නි, මම නම් පිස්සෙක්මි. පින්වත්නි, මම නම් විසුරුණු සිත් ඇත්තෙක්මි. මා විසින් ලොකයෙහි නැති දෙයක් දක්නා ලද්දේය’ කියායි.
“පින්වත් පුරුෂය, කෙසේ නම් නුඹ පිස්සෙක් වූයෙහිද කෙසේ විසුරුණු සිත් ඇත්තෙක් වූයෙහිද, නුඹ විසින් දක්නා ලද ඒ ලොකයෙහි නැති දෙය නම් කුමක්ද?
[4] “ස්වාමීනි, මම මේ රජගහ නුවරින් නික්මී ලොකය ගැන සිතන්නෙමියි සුමාගධ නම් පොකුණ යම් තැනෙක් හිද එතැනට ගියෙමි ගොස්, සුමාගධ නම් පොකුණු තෙර ලොකය ගැන සිතමින් හුන්නෙමි. ස්වාමීනි, මම වනාහි සුමාගධ නම් පොකුණු ඉවුරෙහි නෙළුම් දණ්ඩකට ඇතුල්වන්නාවූ සිව්රඟ සෙනගක් දැක්කෙමි. ස්වාමීනි, මෙසේ වනාහි මම පිස්සෙක් වූයෙමි, විසුරුණු සිත් ඇත්තෙක් වූයෙමි. ලොකයෙහි නැත්තාවූ මෙය මා විසින් දක්නා ලදැයි’ කීය. පින්වත් පුරුෂය, එසේ නම් නුඹ ඒකාන්තයෙන් පිස්සෙක් වෙහිය. ඒකාන්තයෙන් විසුරුණු සිත් ඇත්තෙක් වෙහිය. නුඹ විසින් ලොකයෙහි නැති දෙයක් දක්නා ලදැයි කීවාහුය.
[5] “මහණෙනි, ඒ පුරුෂ තෙම වනාහි වූ දෙයක්ම දුටුවේය. එය නොවූ දෙයක් නොවේමය.
“මහණෙනි, පෙර වූ දෙයක් කියමි. එනම් සුරා’සුර යුද්ධය එළඹ සිටියේ විය. මහණෙනි, ඒ යුද්ධයෙහිදී වනාහි දෙවියෝ දිනුවාහුය. අසුරයෝ පැරදුනාහුය. මහණෙනි, පැරදුණු අසුරයෝ වනාහි බිය වූවාහු, දෙවියන් මුළා කරමින් නෙළුම් දණ්ඩකට රිංගන්නාක් මෙන් පෙනෙන සේ මායාවක් කොට අසුර පුරයට ගියාහුය. මහණෙනි, එහෙයින් ලොකය නිත්‍යයි කියා හෝ ලෝකය නිත්‍ය නොවේයයි කියා හෝ ලොකයෙහි කොණක් ඇත්තේය කියා හෝ, ලොකයෙහි කොණක් නැත්තේය කියා හෝ එයම ජීවය, එයම ශරීරයයි කියා හෝ ජීවය අනිකකි, ශරීරය අනිකකියි කියා හෝ සත්වතෙම මරණින් මතු වන්නේය කියා හෝ සත්වතෙම මරණින් මතු නොවන්නේය කියා හෝ, සත්වතෙම මරණින් මතු වන්නෙත් වෙයි, නොවන්නෙත් වෙයි කියා හෝ, සත්ව තෙම මරණින් මතු නොවෙයි, නොවන්නෙත් නොවෙයි කියා හෝ ලොකය ගැන කල්පනා නොකරව්. ඊට හේතු කවරේද?
[6] “මහණෙනි, මේ සිතීම අර්ථය පිණිස නොවෙයි. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූයේ නොවෙයි. කලකිරීම පිණිස, නො ඇලීම පිණිස, නිරොධය පිණිස, සංසිඳීම පිණිස විශෙෂයෙන් දැනීම පිණිස, අවබොධය පිණිස, නිවන පිණිස නොපවතියි.
[7] මහණෙනි, සිතන්නාවූ තෙපි වනාහි මෙය දුකයයි සිතව්. මෙය දුක නැතිවීමයයි සිතව්. මෙය දුක නැති කරන මාර්ගයයි සිතව්. ඊට හේතු කවරේද?
[8] ‘මහණෙනි, මේ සිතීම අර්ථය පිණිස වෙයි. මෙය මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වෙයි. මෙය කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරොධය පිණිස, සංසිඳීම පිණිස, විශෙෂයෙන් දැනීම පිණිස, අවබොධය පිණිස, නිවන පිණිස පවතියි.
[9] “මහණෙනි, එහෙයින් මෙය දුකයයි දැනීම පිණිස උත්සාහ කටයුතුයි. මෙය දුකට හේතුවයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැතිකිරීමයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැති කරන මාර්ගයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි.