සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
5. පපාත වර්ගය
3. මහා පරිළාහ නිරය සූත්‍රය
(මේ ඡෙදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 1 වෙනි ඡෙදයමෙනි.)
“මහණෙනි, ‘මහාපරිළාහ, නම් නිරයක් ඇත්තේය. එහි ඇසින් යම් කිසි රූපයක් දකියිද, අනිෂ්ට රූපයක්ම දකියි. ඉෂ්ට රූපයක් නොදකියි. නොකැමති රූපයක් ම දකියි. කැමැති රූපයක් නොදකියි. අමනාප රූපයක් ම දකියි. මනාප රූපයක් නොදකියි.
“කනින් යම් කිසි ශබ්දයක් අසයිද, අනිෂ්ට ශබ්දයක්ම අසයි ඉෂ්ට ශබ්දයක් නොඅසයි. නො කැමති ශබ්දයක් ම අසයි. කැමැති ශබ්දයක් නොඅසයි. අමනාප ශබ්දයක්ම ම අසයි. මනාප ශබ්දයක් නොඅසයි.
“නහයෙන් යම්කිසි ගන්ධයක් ආඝ්‍රාණය කෙරෙයිද අනිෂ්ට ගන්ධයක්ම ආඝ්‍රාණය කරයි. ඉෂ්ට ගන්ධයක් ආඝ්‍රාණය නො කරයි. නොකැමති ගන්ධයක්ම ආඝ්‍රාණය කරයි. කැමැති ගන්ධයක් ආඝ්‍රාණය නොකරයි. අමනාප ගන්ධයක් ම ආඝ්‍රාණය කරයි. මනාප ගන්ධයක් ආඝ්‍රාණය නොකරයි
“දිවෙන් යම්කිසි රසයක් විඳියිද අනිෂ්ට රසයක්ම විඳියි. ඉෂ්ට රසයක් නොවිඳියි නොකැමති රසයක් ම විඳියි. කැමැති රසයක් නො විඳියි. අමනාප රසයන් ම විඳියි. මනාප රසයක් නො විඳියි.
“කයින් යම් කිසි ස්පර්ශයක් ස්පර්ශ කෙරෙයිද, අනිෂ්ට ස්පර්ශයක් ම ස්පර්ශ කරයි. ඉෂ්ට ස්පර්ශයක් ස්පර්ශ නො කරයි. නොකැමති ස්පර්ශයක් ම ස්පර්ශ කරයි. කැමැති ස්පර්ශයක් ස්පර්ශ නොකරයි අමනාප ස්පර්ශයක් ම ස්පර්ශ කරයි. මනාප ස්පර්ශයක් ස්පර්ශ නොකරයි.
“සිතින් යම්කිසි ධර්මයක් දනියිද අනිෂ්ට ධර්මයක්ම දනියි. ඉෂ්ට ධර්මයක් නො දනියි. නො කැමති ධර්මයක් ම දනියි. කැමැති ධර්මයක් නො දනියි. අමනාප ධර්මයක් ම දනියි. මනාප ධර්මයක් නො දනියි.
මෙසේ කී කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, ඒ දැවීම ඒකාන්තයෙන් මහත්ය. ස්වාමීනි, ඒ දැවීම අතිශයින් මහත්ය. ස්වාමීනි, මේ දැවීමට වඩා මහත්වූද, භයානකවූද, අන්‍යවූ දැවීමක් ඇත්තේ ද?”
“මහණ මේ දැවීමට ඉතා මහත්වූද ඉතා භයානකවූ ද අන්‍යවූ දැවීමක් ඇත්තේය.”
“ස්වාමීනි, මේ දැවීමට වඩා ඉතා මහත් වූ ද, ඉතා භයානක වූ ද අන්‍ය දැවීම නම් කුමක්ද?”
(මේ ඡෙදය මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡෙදය මෙනි.)
“ඔවුහු ඉපදීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස් කොට දිරීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස් කොට මැරීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස් කොට ශොක-පරිදෙව-දුක්ඛ-දොමනස්ස උපායාසයන් පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස් කොට ඉපදීම් නමැති දැවීමෙන්ද දැවෙත්. දිරීම් නමැති දැවීමෙන්ද දැවෙත් මැරීම් නමැති දැවීමෙන්ද දැවෙත් ශොක-පරිදෙව-දුක්ඛ දොමනස්ස සහ උපායාස නැමැති දැවීමෙන්ද දැවෙත්. ඔවුහු ජාති-ජරා-මරණ ශොක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස උපායාසයන්ගෙන් නොමිදෙත්. දුකින් නොමිදෙත්යයි කියමි.
(මේ ඡෙද දෙක මේ වර්ගයේ 2 වෙනි සූත්‍රයේ 6-7 වෙනි ඡෙද මෙනි.)
“ඔවුහු ඉපදීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්නොකොට දිරීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස් නොකොට මැරීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස් නොකොට ශොක-පරිදෙව-දුක්ඛ දොමනස්ස උපායාසයන් පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස් නොකොට ඉපදීම් නමැති දැවීමෙන්ද නො දැවෙත්. දිරීම් නමැති දැවීමෙන්ද නො දැවෙත්. මැරීම් නමැති දැවීමෙන්ද නො දැවෙත් ශොක-පරිදෙව-දුක්ඛ-දොමනස්ස සහ උපායාස නමැති දැවීමෙන්ද නොදැවෙත්. ඔවුහු ජාතිජරා-මරණ ශොක, පරිදේව, දුක්ඛ, දොමනස්ස උපායාසයන්ගෙන් මිදෙත්. දුකින් මිදෙත්. යයි කියමි.
(මෙතැන් සිට මේ වර්ගයේ සියලු සූත්‍රයන්හි අන්තිමට මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 9 වෙනි ඡෙදය යොදාගන්න)