සංයුත්තනිකායො
සගාථ වර්ගය
9. වන සංයුත්තය
2. උපට්ඨාන සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්ෂුවක් කොසොල් රට එක්තරා වනලැහැබෙක වෙසෙයි.
එකල වනාහි ඒ භික්ෂුව දහවල් විවේකයට ගියේ නිදයි. ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් යම් දේවතාවෙක් වූයේද, හෙතෙම ඒ භික්ෂුවට අනුකම්පා සහිතවූයේ, හිත කැමැත්තේ, ඒ භික්ෂුව උනන්දු කරනු කැමැත්තේ, ඒ භික්ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය.
පැමිණ, ඒ භික්ෂුවට ගාථායෙන් ( මෙසේ ) කීය:
’’මහණ, නැගිටුව, කිම නිදන්නෙහි ද? නින්දෙන් තට කිනම් ප්‍රයෝජනයෙක් ද? ක්ලේශාතුරවූ, තෘෂ්ණා නමැති හුලින් හෘදය විදින ලද්දාවූ, වෙහෙසෙන්නාවූ, යුෂ්මත්හුට කවර නින්දක් ද?
’’යම් බඳු ශ්‍රද්ධායෙකින් ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වූයෙහි ද, ඒ ශ්‍රද්ධාවම වඩා නින්දට වසඟ නොවව.’’
’’යම් කාමයන්හි නුවණ මඳ වූ පෘතග්ජන තෙමේ මුසපත් වූයේ ද, එම කාමයෝ අනිත්‍යයෝය. නස්නා සුලුයහ. බන්ධනයන් කෙරෙන් මිදුනාවූ, තණ්හාවෙන් නොබැඳුනාවූ, ආශාවයන් නැතිකළ ( රහත් ) පැවිද්දෙකු ( වූ මා ) කවර හෙයකින් තවන්නේ ද?
’’ඡන්දරාගය වැනසීම නිසාද, අවිද්‍යාව ඉක්මවූ බැවින්ද, ඒ ඥානය අතිශයින් පිරිසිදුය, ( එබඳු නුවණැති ) පැවිද්දකු කවර හෙයකින් තවන්නේ ද?
’’විද්‍යායෙන් අවිද්‍යාව බිඳ, ( කාමාදී ) ආශ්‍රවයන් ක්ෂය කිරීම් හේතුවෙන් ශෝක නැත්තා වූ, උපායාස ( තද ශෝක ) නැත්තාවූ පැවිද්දකු කවර හෙයකින් ( නිදිව ) තවන්නේ ද? ( නොතවන්නේමය. )
’’සම්පූර්ණ වීර්‍ය්‍ය ඇති, නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති, දැඩි පරාක්‍රමයෙන් යුත්, නිවන් පතන්නාවූ පැවිද්දකු කවර හෙයකින් නිදීම තවන්නේ ද?’’