සංයුත්තනිකායො
සගාථ වර්ගය
9. වන සංයුත්තය
4. සම්බහුලා ( නොහොත් චාරිකා ) සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක බොහෝ භික්‍ෂුහු කොසොල් රට එක්තරා වනලැහැබෙක වසත්.
ඉක්බිති ඒ භික්‍ෂූහු වස් වැසුවා තුන් මාසය ඇවෑමෙන් චාරිකාවට ( ගමන් කිරීමට ) ගියහ.
ඉක්බිති ඒ වන ලැහැබෙහි අරක්ගත් දේවතාවා ඒ භික්‍ෂූන් නොදක්නේ, ඒ වේලාවෙහි මේ ගාථාව කීය:
’’හිස්වූ බොහෝ ආසන දැක මට අද නොඇල්මක් මෙන් වැටහෙයි. විසිතුරු ධර්‍ම කථා ඇත්තාවූ, බහුශ්‍රුතවූ ඒ මේ ගෞතම ශ්‍රාවකයෝ කොයි වැඩියෝ ද?’’
මෙසේ කීකල අනික් දේවතාවෙක් ඒ දේවතාවාට ගාථායෙන් පිළිතුරු කීය:
’’( ඇතැම් කෙනෙක් ) මගධ දනව්වට ගියෝය. ( ඇතැම් කෙනෙක් ) කොසොල් දනව්වට ගියෝය. ඇතැම් කෙනෙක් වැදෑ රටට ගියෝය. භික්‍ෂූහු එකම ස්ථානයෙක ඇල්මක් නැතිව හැසිරෙන්නාහු ගෙවල් නැති මුවන් මෙන් වෙසෙත්.’’