ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
1. බුද්ධ වග්ගය
2. පච්චෙක බුද්ධාපදානය
අනතුරුව ප්‍රත්‍යෙක බුද්ධාපදානය අසව්.
වේදේහි පුත්‍ර ආනන්‍ද ස්ථවිර තෙම දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන්නාවූ බුදුරජානන් වහන්සේගෙන් ’’වීරයන් වහන්ස, කිනම් හේතුවකින් ප්‍රත්‍යෙක බුදුවරයෝ වෙත්දැයි’’ නැමඳුම් පෙරටුව විචාළ සේක.
එකල්හි මහාර්ෂිවූ සර්‍වඥ බුදුරජාණන් වහන්සේ, සුන්දරවූ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට, ’’පෙර බුදුවරයන් විෂයෙහි කරණ ලද පුණ්‍ය සම්භාර ඇති, සර්‍වඥ ශාසන විෂයෙහි නොලබන ලද මොක්‍ෂය ඇති, අති සියුම් නුවණින් යුත්, එම ප්‍රාඥයෝ එම සංවේගයම මුල්කොට බුදුවරුන්ගේ අවවාදානුශාසනාවන් රහිතව ස්වල්පමාත්‍රවූද අරමුනක් හේතුකොට ගෙන පසේබුදුබවට පැමිණෙත්යයි’’ මධුර ස්වරයෙන් වදාළ සේක.
’’සකල ලෝකයෙහි (සර්‍වඥ බුද්‍ධවූ) මා හැර පසේබුදුවරයන් සමග සමානවූ අනිකෙක් නැත. ඒ පසේබුදුවරයන්ගේ ගුණයන් පිළිබඳ ලේශ මාත්‍රයක් මම (දැන් තොපට) මැනවින් දේශනා කරමි.
’’පරෝපදේශ රහිතව තෙමේම අවබෝධ කරගත් පසේබුදුවරයන්ගේ මිහිරිවූ උදාන වාක්‍යයෝ කුඩා මී වදයක් මෙන් (මිහිරි) වෙති. අනුත්තරවූ නිර්වාණ සංඛ්‍යාත ඖෂධය පතන (තෙපි) සියල්ලෝම මනාකොට පහන්වූ සිත් ඇත්තෝව (එය) අසව්.
’’එහි රැස්වූ පසේ බුදුබවට පත් උතුමන්ගේ පිළිවෙළින් කළ යම් ප්‍රකාශයෝ වෙත් නම් හේ මෙසේයි. කාමයන් පිළිබඳ යම් ආදීනවයක් වෙත් නම් එයද නොඇලීමට කරුණුවූ යමක් වීනම්, එය (දැක) උන්වහන්සේලා ප්‍රත්‍යෙක සම්බෝධියට පත්වූහ.
’’තෘෂ්ණාවෙන් රැඳිය යුතු වස්තු කාම, ක්ලේශ කාමයන්හි නොරැවටුනු පැණවතුන් වූවාහු, ඇලෙන ස්වභාවය ඇති ලෝකයෙහි නොඇලෙන සිත් ඇත්තාහු කෙලෙස් දුරු කොට දෙසැට මිසදිටු ජයගෙන (මේ උතුමෝ) එම හේතුවෙන් ප්‍රත්‍යෙක සම්බෝධියට පැමිණියාහුය.
’’සියලු සත්ත්‍වයන් විෂයෙහි හරනා ලද දඬුවම් ඇති, එම සත්ත්‍වයන් අතුරෙන් කිසිදු කෙනෙකුට හිංසාද නො කරන්නේ මෙත් සිතින් පතුරුවාලූ හිතානුකම්පා ඇත්තේ, (එම පසේ බුදු රජ තෙම) කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේයි.
’’සියලු සත්ත්‍වයන් විෂයෙහි හරනා ලද දඬුවම් ඇති, එම සත්ත්‍වයන් අතුරෙන් කිසිදු කෙනෙකුට හිංසාද නොකරන්නේ පුත්‍රයා ගැන පවා බලාපොරොත්තුවක් නොතබන්නේය. සහායයන් ගැන කියනුම කවරේද? කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
’’හටගත් සංසර්‍ග ඇත්තහුට (ඒ හේතුවෙන්) ස්නේහය උපදී. ඒ ස්නේහය අනුව යන්නහුට මේ දුක ඇතිවේ. ස්නේහයෙන් හටගත් ආදීනව දකින්නේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
’’සුහෘදවූ මිත්‍රයන්ට අනුකම්පා කරන්නේ මිත්‍රයා හා පිළිබඳ සිත් ඇති බව හේතුකොට ගෙන තමාගේ දෙලෝ අභිවෘද්ධිය පිරිහෙලා ගනී. සන්ථවයෙහි ඇති මේ භය දක්නේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
’’යම් සේ එකට ගෙතුනාවූ විශාල හුණ පඳුරක් මෙන් පුත්‍රදාරාවන් කෙරෙහි යම් ස්නේහයක් වී නම් හුණකිලිලක් මෙන් නොඇලෙන්නේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
’’යම්සේ පඝද මෘගයා උයනෙහි රැහැන් ආදියකින් නොබඳනා ලද්දේ යම් කැමති තැනකට ගොදුරු පිණිස යේද, නුවණැති මනුෂ්‍ය තෙමේ ස්වෛරී බවද එසේම දක්නේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
’’මිතුරන් මැද සිටින විටද, දිවාසනයෙහිද, මහා උපට්ඨාන සංඛ්‍යාත සිටීමෙහිද, උද්‍යාන ගමනෙහිද, ජනපද චාරිකාවෙහිද යන මේ අවස්ථාවන්හිදී ඇමතීම ඇතිවේ. අපරාධීනවූ ස්වෛරී බවෙහි අනුසස් දක්නේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
’’සහායයන් මැද සිටිනවිට (කායික වාචසික) ක්‍රීඩාවෝද පංචකාම ගුණික රාගයෝද වෙති. එසේම පුත්‍රයන් කෙරෙහි ප්‍රේමයද අධිකවේ. එහි ඇතිවන ප්‍රිය විප්‍රයෝගය පිළිකුල් කරණුයේ කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
’’යථාලාභ වශයෙන් සන්තෝෂ වන්නන් සමග, සිව් දිගෙහිවූ සත්ත්‍වයන් හා සංස්කාරයන් සමග, භය වශයෙන් නොගැටෙන්නේ වේ. කාය චිත්ත දරථයන් (වෙහෙසීම්) ඉවසනසුළු ලොමු දැහැ ගනීම් නැත්තේය. කඟවේනෙකු මෙන් හුදකළාවම හැසිරෙන්නේය.
’’දෙකට පළා දැමූ කොවිලාර (කොබෝලීල) පත්‍රයක් මෙන් මාර්‍ග වීර්‍ය්‍යයෙන් යුත් වීරතෙමේ ගිහි සලකුණු (ව්‍යඤ්ජන) හැර දමා ගිහිබැඳුම් සිඳ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙයි.
’’ධෛර්‍ය්‍යවත්වූ, (අර්‍පණා උපචාර සමාධීන්හි යෙදීම් වශයෙන්) යහපත් විහරණ ඇති, සමග හැසිරෙන්නාවූ ප්‍රාඥ මිත්‍රයෙකු මෙන් ඉදින් ලැබෙන්නේ නම් සියලු කරදර මැඩගෙන සිහියෙන් යුතුවූයේ ඔහු සමග සතුටුව හැසිරෙන්නේය.
’’ධෛර්‍ය්‍යවත්වූ, (අර්‍පණා උපචාර සමාධීන්හි යෙදීම් වශයෙන්) යහපත් විහරණ ඇති, සමග හැසිරෙන්නාවූ ප්‍රාඥ මිත්‍රයෙකු මෙන් ඉදින් නොලැබෙන්නේ නම් යම්සේ රජ තෙමේ ජය ගත් රට (උවදුරු සහිතයයි සිතා) හරනේද, එසේම මහ අරණෙහි ඇත්රජකු මෙන් හුදකළාව හැසිරෙන්නේය.
’’ඒකාන්තයෙන් මිත්‍ර සම්පත්තිය ප්‍රශංසා කරමු. තමාට වඩා ගුණ ධර්‍මයන්ගෙන් ශ්‍රේෂඨවූවෝද, සමවූවෝද, සේවනය කටයුතු මිත්‍රයෝ වෙති. මෙබඳු මිතුරන් නොලබන වැරදි දිවි පෙවෙතින් උපදවාගත් ආහාරයෙන් නොයැපෙන බැවින් නිවැරදි භෝජනය ඇති හෙතෙම කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
’’රන්කරුවකු විසින් මැනවින් නිමාකළ දීප්තිමත් රන්වළලු (එක්තැනවූකළ) දෑතෙහි ගැටෙන අයුරුද, එසේ එක්තැන්කොට වෙනම පවත්නා කළ නොගැටී ශබ්ද විරහිතව ඇති අයුරුද) දැක කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
’’මෙසේ දෙවැන්නෙකු සමග සල්ලාපයෙහි යෙදීමද, ඇලීමද, යන මේ දෙකම (මතු ඇතිවන අධිගමයට අන්තරාය කරයි) මෙය භය වශයෙන් දක්නේ කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
’’වස්තුකාම ක්ලේශකාමයෝ විචිත්‍රයහ. මධුරයහ. සිත් අලවන සුලුද වෙති. විවිධ රූපයන් කරණකොට ගෙන සිත් කළඹත්. කාම ගුණයන්හි ඇති මේ ආදීනව දැක කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
’’පඤ්චකාම ගුණය (නොයෙක් ව්‍යසනයන්ට හේතුවන බැවින්) උවදුරකි. (ක්ලේශාහූචි වැගිරෙන බැවින්) ගෙඩියකි. (අවැඩ සිදු කරණ බැවින්) උවදුරකි. (නීරෝගී බව පැහැරගන්නා බැවින්) රෝගයකි. (හදවත විදින බැවින්) උලකි. (දෙළොව භය එළවන බැවින්) බියකි. කාම ගුණයන්හි ඇති මේ භය දැක කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
’’සීතලයද, ඌෂ්ණයද, (බඩගින්නද) පිපාසාවද, අවු සුළංද, ඩැහැ ලෙහෙ බොන මැස්සන් හා සර්‍පයන්ද, යන මේ සියල්ල මැඩ පවත්වා කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
’’මැනවින් හටගත් ග්‍රීවා ඇති (පියුමක් මෙන් මනහර සිරුරු ඇති බැවින් හෝ පදුම කුලයෙහි උපන් බැවින්) පදුමී නම්වූ උදාරවූ ඇත් රජ තෙම හස්ති සමූහයා හැර දමා කැමති තාක් කල් අරණෙහි වසන්නාක් මෙන් කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
’’යමක් හේතුකොට ගෙන ලෞකීක සමාපත්තියට පැමිණේනම් සමූහය සමග එක්වීමෙහි ඇළුනහුට, ඒ සාමයීක විමුක්ති නම්වූ ලෞකීක සමාපත්තිය සිදු නොවේ. පසේ බුදුන් වහන්සේගේ මේ වචනය නිසා කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
’’මාර්‍ග සම්‍යක් දෘෂ්ටියට ප්‍රතිවිරුද්ධවූ දෙසැට මිසදිටු උපුටා හරින ලදී. සෝවාන් මගට පත් බැවින් අවිනිපාත ධර්‍මයන් හෙවත්, අපායගාමී නොවන ස්වභාවයෙන් නියත බවට පැමිණියේ ලබන ලද සෙසු මාර්‍ගඵලද ඇත්තේ අන්‍යයන් විසින් මෙය සත්‍යයයි පෙන්වා නොමෙහෙයවිය හැකි හෙවත් අනිකෙකුගේ මාර්‍ගෝපදේශකත්‍වයක් නොමැතිව උපන්නාවූ ප්‍රත්‍යෙක බෝධි ඥානය ඇත්තේ කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
’’ලොල් නොවූයේ, කුහක බැවින් තොරවූයේ, රශ තෘෂ්ණාවෙන් අනුභව කරනු කැමති බවනම් වූ පිපාසාවද අනුන්ගේ ගුණ මකන ස්වභාවයද නැත්තේ, සිත කය, වචනයන් පිළිබඳ කසට හා මෝහයද හරණ ලද්දේ, භවත්‍රය පිළිබඳව ඇති තෘෂ්ණා විරහිතවූයේ කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
’’පවිටු මිතුරන් දුරු කරන්නේය. අනර්‍ථයක් දක්නාසුළු කාය දුශ්චරිතාදී පව්වලින් යුතුව වෙසෙන දෘෂ්ටි වශයෙන් ඒ ඒ තන්හි ඇළුනාවූ ප්‍රමාදයෙන් යුත් එබඳුවූ මිතුරන් තෙමේ නොසෙව්නේය. කඟවේනෙකු මෙන් හුදෙකළාව හැසිරෙන්නේය.
’’පර්‍ය්‍යාප්ති බහුශ්‍රුතත්‍වයෙන් හා ප්‍රතිවේධ බහුශ්‍රුතත්‍වයෙන් යුත් එම පර්‍ය්‍යාප්තීන් හා අධිගමයන් පිළිබඳ වැටහීම් ඇති මිත්‍රයෙකු භජනය කරන්නේය.
’’ලෙව්හි ක්‍රීඩාවද, රතියද, කාම සුඛයද, අනපෙක්‍ෂිතවූයේ, නුසුදුසුයයි නොකොට සැරසීමට කරුණුවූ දෙයින්ද වෙන්වූයේ සත්‍යවාදීව කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
’’පුත්‍රදාරාවන්ද, දෙමාපියන්ද, ධන ධාන්‍යද, බන්ධූන්ද, යන මේ කාම වස්තූන් පිලිබඳ ස්වකීය ස්වකීය සීමාවෙහි (ඇල්ම) තුබූ තුබූ අයුරින් අතහැර දමා කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
’’මේ පඤ්චකාම වස්තූන් නිසා ඇතිවන්නේ ඇල්මකි. එහි ඇති සැපතද, ආශ්වාදයද, ස්වල්පය. එහිවූ දුකම වැඩිය. නුවණැත්තේ මේ පස්කම් සුවය (මත්ස්‍යයන් බඳින්නාවූ) ඇමක් මෙන් සළකා කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
’’දැල පළාගෙන ගිය මත්ස්‍යයකු මෙන් සංයෝජනයන් සිඳ දැවීගිය තැනට ආපසු නොඑන්නාවූ ගින්න යම් සේද, එසේ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
’’යටට හෙළන ලද බැඳුම් ඇත්තෝ සමූහය සමග ඇලීම සඳහා පිරිස් මැදට යාමෙහි ලොල්බව නැත්තේ, රක්නාලද පසිඳුරන් ඇත්තේ, රැකගත් සිතද ඇත්තේ, අරමුණු විෂයෙහි කෙළෙස් වැගිරෙණ ගතියෙන් තොරවූයේ, කෙළෙස් ගින්නෙන් නොදැවෙන්නේ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
’’සිඳින ලද පත් ඇති පරසතු රුකක් මෙන් ගිහි ව්‍යඤ්ජන ලකුණු හැරදමා කසාවත් හැඳ ග්තේ, ගිහිගෙන් නික්ම කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
’’ලොල් නොවූයේ, රසයෙහි ගිජු බවක් නැත්තේ, පොෂණය කළ යුතු අනිකෙක් නැත්තේ, ගෙපිළිවෙළින් පිඬු සිඟා වඩනේ, ක්‍ෂත්‍රිය කුලාදී යම් කිසි තැනක කෙළෙස් වශයෙන් නොඇලුණු සිත් ඇත්තේ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
’’පඤ්ච නීවරණයන් සිතින්ම හැරදමා සියලු උපක්ලේශයන්ද දුරුකොට, තෘෂ්ණා නොවූයේ කාමරාග නම් තෘෂ්ණා දෝෂය සිඳ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
’’ප්‍රථමධ්‍යාන උපචාරයෙහිදීම සොම්නසද, තතියධ්‍යානූපචාරයෙහිදීම සුඛයද (හරනා බැවින්) පළමුකොටම සැපද, දුකද ගැන නොබලා, එසේම සොම්නස් දොම්නස් දෙකද හැර (පඤ්චනීවරණයන්ගෙන් හා විතර්‍ක විචාර ප්‍රීති සුඛයන්ගෙන්) පිරිසිදුවූ උපෙක්‍ෂාවෙන් යුත් (චතුර්ත්‍ථධ්‍යාන) සමථය ලබා කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
’’නිවණට පැමිණීම සඳහා ඇරඹූ වීර්‍ය්‍ය ඇත්තේ, නොපසුබට සිත් ඇති, කුසීත පැවැත්මෙන් තොරවූ, වීර්‍ය්‍යයෙන් ප්‍රතිපක්‍ෂ කෙළෙසුන් කෙරෙන් ඉවත්වූ (මාර්‍ගක්‍ෂණයෙහි) ස්ථිර ඥාන බලයට පැමිණියේ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
’’පටිසල්ලාන නම් කාය විවේකයද, ධ්‍යාන නම් චිත්ත විවේකයද, නොසීස් කරනුයේ විදර්‍ශනාවට එළඹියයුතු ධර්‍මයන් විෂයෙහි නිරතුරුව එම ධර්‍මයන්ට අනුව හැසිරෙන්නේ, ත්‍රිවිධ භවයෙහි ආදීනව මෙනෙහි කරන්නේ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
අප්‍රමාදව නිවණ පතනුයේ, කෙළතොළු නොවූයේ, බහුශ්‍රුතව, සිහි ඇතිව, දහම් විමසීමෙන් ඇතිකරගත් අවබෝධය ඇත්තේ (ආර්‍ය්‍ය මාර්‍ගයෙන්) නියතබවට පැමිණියේ සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුක්තව කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
’’ශබ්දයන් විෂයෙහි තැතිගැනීමට පත්නොවන සිංහයෙකු මෙන්ද, දැලක නොබැඳුන වාතය මෙන්ද කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
’’දාඨාබලය ඇති වේශයෙන් හා මැඩපවත්වා හැසිරෙන සුළු, මෘගරාජවූ සිංහයෙකු මෙන් දුර සෙනසුන් සෙව්නේ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
’’විරුද්ධවූ ක්ලේශයන්ගෙන් මිදුනාවූ මෛත්‍රීයද, උපෙක්‍ෂාවද, කරුණාවද, මුදිතාවද, ආසේවනයට පහසු කල්හි සෙව්නේ සකල ලෝකවාසි සත්ත්‍වයන් සමග විරුද්ධ නොවන්නේ කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
’’රාග, ද්වේශ, මෝහයන් හැර (මාර්‍ගයෙන්) දශ සංයෝජනයන් සිඳ ජීවිතය සැකයට පත්කල්හි හෙවත් මරණාසන්නයෙහි තැති නොගන්නේ, කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
’’මිත්‍රයන් කිසියම් ලාභයක් සඳහාම භජනයද, සේවනයද කෙරෙත්. එසේ ලාභාපේක්‍ෂාවක් නැතිව භජනය කරණ මිත්‍රයෝ මෙකල දුර්ලභ වෙත්. මිනිස්සු ආත්මාර්ත්‍ථකාමී කල්පනාවන්ගෙන් හා අපිරිසිදු කාය, වචී, මනෝ කර්මයන්ගෙන් යුක්තවූවාහුම, (එබැවින්) කඟවේනෙකු මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය.
’’වෙසෙසින් පිරිසිදු සිල් ඇති, එසේම අතිපරිශුද්‍ධ ප්‍රඥාද ඇති, එකඟ සිත් ඇති, නිදිමැරීමෙහි යෙදුනාවූ, විදර්‍ශකවූ (දශකුශල, චතුස්සත්‍යය, නවලෝකෝත්තර) ධර්‍මයන් වෙසෙසින් දක්නා සුළුවූ, මාගාංග බොජඣඞ්ගයන් හා එක්ව යෙදුනාවූ ආර්‍ය්‍ය ධර්‍මයන් විශෙෂයෙන් දැනගත්,
’’සුඤ්ඤත අප්පණිහිත අනිමිත්ත නම් විමොක්‍ෂයන් වඩා ඒ ප්‍රාඥයෝ සර්‍වඥ ශාසනයෙහි ශ්‍රාවක බවට නොපැමිණෙත්. ඔවුහු පරෝපදේශ රහිතව තෙමේම අවබෝධ කරගත් පසේබුදුවරයෝ වෙත්.
’’පුරණ ලද මහත් පුණ්‍ය සම්භාර ඇති බොහෝ වූ ධර්‍මකාය සම්පත් ඇති සිතේ එකඟකමින් යුත් සකල සංසාර සැඩවතුර තරණය කළාවූ සොම්නස් සිත් ඇති පරමාර්ත්‍ථය දක්නා සුළුවූ සිංහයෙකු වැනි වූයේද, කඟවේනෙකු වැනි වූයේද වේ.
’’සන්සුන් ඉඳුරන් ඇති, ශාන්තවූ හා එකඟවූ සිත් ඇති ප්‍රත්‍යන්ත ජනපද වැසි සත්ත්‍වයන් විෂයෙහි පතුරුවන ලද මෛත්‍රී කරුණා ආදී ගුණ ඇති, මෙලොව පරලොව යන දෙලොව බබුළුවන ප්‍රදීපයක් වැනිවූ, මේ පසේ බුදුවරයෝ හැම කල්හිම නිරෝධ සමාපත්ති, ඵල සමාපත්ති වශයෙන් සම්පූර්‍ණ වූවාහුය.
’’ජනෝත්තමවූ ඒ පසේ බුදුවරයෝ ප්‍රහීණ කරණ ලද සියළු නීවරණ ඇත්තාහු, ඝන ස්වර්‍ණ ප්‍රභා සදෘෂවූවාහු ලෝකයේ අසහාය ප්‍රදීපයෝද වෙති. නිසැකවම ලෝකයෙහි ශ්‍රේෂ්ඨ දක්‍ෂීණාර්‍හයන්වූ මුන්වහන්සේලා හැම කල්හිම අර්පිත නිරෝධ සමාපත්ති හා ඵල සමාපත්ති ඇත්තාහුය.
’’පසේ බුදුවරුන්ගේ සුභාෂිත වචනයෝ දෙවියන් සහිත ලෝකයෙහි පවතිත්. යමෙක් තුමූ එම ධර්‍මය අසා ඒ පරිදි නොකරන්නේ නම්, ඔවුහු සංසාර දුක්ඛයෙහි නැවත නැවත හැසිරෙති.
’’පසේ බුදුවරුන්ගේ සුභාෂිත වචනයෝ පැණි වැගිරෙන්නාවූ කුඩා මීවද වැනිය. එය අසා යමෙක් තුමූ ඒ වූ පරිදි ප්‍රතිපත්තියෙහි යෙදුනාහු නම් ඔවුහු තුමූ චතුස්සත්‍යය දක්නාවූ සප්‍රාඥයෝ වෙති.
’’කෙලෙසුන් ජයගත් පසේබුදුවරයන් විසින් දෙසන ලද උදාරවූ ගාථා ගෘහාභිනිෂ්ක්‍රමණයකොට බුද්‍ධත්‍වයට පත් නරෝත්තමවූ ශාක්‍යසිංහ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් (ලෝකයාගේ) ධර්‍මාවබෝධය පිණිස දේශනා කරණ ලදී’’
එම පසේබුදුවරයන් විසින් දේශනා කරණ ලද මෙම ගාථාවෝ (නුවණැත්තන්ගේ) සංවේගය හා නොඇලීම වැඩෙනු පිණිස තෙමේම චතුස්සත්‍යාවබෝධය කරගත් ශ්‍රේෂ්ඨ සම්‍යක් සම්බුදුරදුන් විසින් වදාරණ ලදහ.
පච්චේක බුද්‍ධාපදාන නිමි.