ඛුද්දක නිකාය
උදානය
2. මුචලින්ද වර්ගය
6. ගර්භනී සූත්‍රය
(මේ ඡේදය 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය මෙනි.)
එ ම මෙහි වනාහි එක්තරා පිරිවැජියෙකුගේ භාර්‍ය්‍යාව වූ තරුණ මෙනෙවිය හටගත් ගැබ් ඇත්තී වැදීමට ලංව සිටියාය. ඉක්බිති ඒ පරිබ්‍රාජිකාව ඒ පිරිවැජියාට මෙය කීවාය. “බ්‍රාහ්මණය, යව ඔබ තල ගිතෙල් ආදී තෙල් ගෙනෙව. මාගේ වැදීම පිණිස යමක් උපකාර වන්නේය.” මෙසේ කී කල්හි පිරිවැජියා ඒ පරිබ්‍රාජිකාවට මෙය කීවේය. “පින්වතිය, මම කොහින් තෙල් ගෙණෙන්නෙම්ද?”, දෙවනුවද ඒ පරිබ්‍රාජිකාව පිරිවැජියාට මෙය කීවාය. “ බ්‍රාහ්මණය ඔබ යව තෙල් ගෙනෙව යමක් මාගේ වැදීම පිණිස ප්‍රයෝජනවත් වන්නේය” “පින්වතිය, මම කොහින් තෙල් ගෙන එන්නෙම්ද?” තුන්වෙනි වරද ඒ පරිබ්‍රාජිකාව ඒ පිරිවැජියාට මෙය කීවාය. “බ්‍රාහ්මණය, ඔබ යව යමක් මාගේ වැදීම පිණිස ප්‍රයෝජන වන්නේය.
ඒ කාලයෙහි පසේනදී කොසොල් රජුගේ ගබඩාවෙහි ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට හෝ ගිතෙල්, තෙල් ඇතිතාක් බොන්ට දෙයි. ගෙනයන්ට නොදෙයි. ඉක්බිති ඒ පිරිවැජියාට මේ අදහස විය. පසේනදි කොසොල් රජුගේ ගබඩාවෙහි ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට ඇතිතාක් ගිතෙල් හා තලතෙල් බොන්ට දෙයි. ගෙනයන්ට නොදෙයි. මම පසේනදි කොසොල් රජුගේ ගබඩාවට ගොස් තෙල් ඇතිතාක් බී ගෙට අවුත් වමාරා දෙන්නෙම් නම් යෙහෙක මැයගේ වැදීමට යමක් උපකාර වන්නේය,” යනුවෙනි.
ඉක්බිති ඒ පිරිවැජි තෙම පසේනදි කොසොල් රජුගේ ගබඩාවට ගොස් ඇති තාක් තෙල් බී ගෙට අවුත් උඩට ගෙන වමාරන්නට නොහැකි වෙයි. අධෝමාර්ගයෙන් හෝ පිට කරන්නට නොහැකි වෙයි. හෙතෙම දුක්වූ දැඩිවූ රළුවූ කටුකවූ වේදනාවෙන් පෙළෙන්නේ පෙරළෙයි, ආපසු පෙරළෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන සැවැත් නුවර පිඬු පිණිස පිවිසි සේක. දුක්වූ, දැඩිවූ, රළුවූ වේදනාවෙන් පෙරළෙන්නාවූ ආපසු පෙරෙළෙන්නාවූ ඒ පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේ දුටු සේක්මය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළ සේක.
“ජනතෙම ජනයාකෙරෙහි පිළිබඳ සිත් ඇත්තේ වෙයි. වෙහෙසෙන්නාවූ කෙලෙස් සහිත සත්වයා දෙස බලව, යම් කෙනෙක් කෙලෙස් රහිතයෝද ඒකාන්තයෙන් සැප ඇත්තෝමය. වෙදගුනම් රහත් පුද්ගලයෝ කෙලෙස් රහිතයෝ වෙති.”