ඛුද්දක නිකාය
උදානය
5. සොරණ වර්ගය
1. අත්තපිය සූත්‍රය
(මේ ඡෙදය 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡෙදය මෙනි.)
ඒ කාලයෙහි පසේනදි කොසොල් රජ තෙම මල්ලිකාදේවි සමග මහා ප්‍රාසාදය මත්තේ සිටියේවේ. ඉක්බිති පසේනදී
කොසොල් රජතෙම මල්ලිකාදේවිට “මල්ලිකාවෙනි, තොපට තමාට වඩා අතිශයින් ප්‍රිය කෙනෙක් ඇද්දැයි” ඇසීය. “මහරජ, මට මට වඩා ප්‍රිය අන්කිසිවෙක් නැතැයි” කීවාය. මහරජ, ඔබට ඔබට වඩා ප්‍රිය අන්කෙනෙක් ඇත්දැයි” ඇසුවාය.
“මල්ලිකාවෙනි මටත් මට වඩා ප්‍රිය අන් කෙනෙක් නැතැයි” කීයේය.
ඉක්බිති පසේනදී කොසොල් රජ තෙම ප්‍රාසාදයෙන් බැස භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. එකත් පසෙක සිටි පසේනදී කොසොල් රජතෙම භාග්‍යවතුන් වහන්සේට, ස්වාමීනි මම මල්ලිකා දේවිය සමග මහාප්රාසාදය මත්තෙහි සිටියේය. මල්ලිකා දේවියගෙන් ‘මල්ලිකාවෙනි තොපට තමාට වඩා අතිශයින් ප්‍රිය කෙනෙක් ඇද්දැයි’ ඇසීමි. මෙසේ ඇසූ කල්හි මල්ලිකා දේවී ‘මට, මහරජ මට වඩා ප්‍රිය කෙනෙක් නැතැයි’ උත්තර දුන්නාය. ‘මහරජ, ඔබටවත් ඔබට වඩා ප්‍රිය අන්කෙනෙක් ඇද්දැයි’ ඈ ඇසුවාය. ස්වාමීනි, මෙසේ කියනු ලැබූ මම මල්ලිකා දේවීට ‘මල්ලිකාවෙනි, මටද මට වඩා ප්‍රිය කෙනෙක් නැතැයි’ කීවෙමි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන, ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශ කළ සේක.
“සියලු දිශාවන් සිතින් සොයා තමාට වඩා ප්‍රිය කිසි කෙනෙක් නොලදිමි. මෙසේ අනුන්ටත් තමා ඉතා ප්‍රියය. එහෙයින් තමහට හිත කැමැත්තේ අනුන්ට හිංසා නොකරන්නේය.”