අංගුත්තර නිකාය
එක නිපාතය
11. අධර්මාදි වර්ගය
140
සද්ධම්මන්රධාපන සූත්‍රය:—1. “මහණෙනි, යම් භික්ෂු කෙනෙක් අධර්මය ධර්මයයි ප්‍රකාශ කෙරෙත්ද,
2. “මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ අකුශල්ද රැස්කෙරෙත්. ඒ භික්ෂූහු ම මේ ශාසනය අතුරුදහන් කෙරෙත්.”
(මේ වර්ගයේ සෑම සූත්‍රවලම 2 ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 2 ඡෙදය මෙනි.)
141
අධම්මදීපන සූත්‍රය—1. “මහණෙනි, යම් භික්ෂු කෙනෙක් ධර්මය අධර්මයයි ප්‍රකාශකරත්ද,
142
අවිනයදීපන සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂු කෙනෙක් අවිනය විනයයි ප්‍රකාශකෙරෙත්ද,
143
විනයහාපන සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂු කෙනෙක් විනය අවිනයයි ප්‍රකාශ කරත්ද,
144
අහාසිතදීපන සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂු කෙනෙක් තථාගතයන් විසින් නොවදාරණලද්ද ප්‍රකාශ නොකරණලද්ද තථාගතයන් විසින් කියනලද්දේය ප්‍රකාශ කරණ ලද්දේයයි දක්වත්ද,
145
භාසිතභාසිත සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂුකෙනෙක් තථාගතයන් විසින් කියනලද්ද ප්‍රකාශකරණ ලද්ද තථාගතයන් විසින් නොකියන ලද්දේය ප්‍රකාශ නොකරණලද්දේයයි දක්වත්ද,
146
අනාචිණ්ණදීපන සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂු කෙනෙක් තථාගතයන් විසින් පුරුදු නොකරණලද්ද තථාගතයන් විසින් පුරුදු කරණලද්දේයයි දක්වත්ද,
147
ආචිණ්ණහාපන සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂු කෙනෙක් තථාගතයන් විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් විසින් පුරුදු නොකරණලද්දේයයි දක්වත්ද,
148
අප්පඤ්ඤත්තදීපන සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂු කෙනෙක් තථාගතයන් විසින් නොපණවනලද්ද තථාගතයන් විසින් පනවනලද්දේයයි දක්වත්ද,
149
පඤ්ඤත්තදීපන සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂු කෙනෙක් තථාගතයන් විසින් පනවන ලද්ද තථාගතයන් විසින් නොපනවන ලද්දේයයි ප්‍රකාශකෙරෙත්ද,
(අධර්මවාදි එකොළොස්වන වර්ගය නිමි)