අංගුත්තර නිකාය

එක නිපාතය

15. එතදග්‍ර පාලිය (්)

209

රාහුල එතදග්ග සූත්‍රය—“මහණෙනි, “මහණෙනි, යම් මේ රාහුල නම් ස්ථවිරනමක් වේද ශික්ෂාකාමීවූ මාගේ ශ්‍රාවකවූ භික්ෂූන් අතුරෙන් මෙතෙම අග්‍රයි.

210

රට්ඨපාල එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ රට්ඨපාල ස්ථවිර තෙම ශ්‍රද්ධායෙන් පැවිදිවූවන් අතුරෙන් අග්‍රයි.

211

කුණ්ඩධාන එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ කුණ්ඩධාන ස්ථවිර තෙම සියල්ලන්ට පළමුව සළකා ගන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි

212

වඩ්ගීස එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ වඩ්ගීස ස්ථවිර තෙම සම්පූර්ණවූ වැටහීම් ඇත්තාවූ නොහොත් වහා වැටහෙන නුවණැත්තාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි.

213

උපසෙන වංගන්තපුත්ත එතදග්ග සූත්‍රය—“ මහණෙනි, මේ වංගන්ත බමුණාගේ පුත්‍රවූ උපසෙන ස්ථවිර තෙම සියල්ලන් පහදවන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි.

214

දබ්බමල්ලපුත්ත එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ මල්ලරාජ පුත්‍රවූ දබ්බ නම් ස්ථවිර තෙම සෙනසුන් පනවන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි.

215

පිළින්දිවච්ඡ එතදග්ග සූත්‍රය—මහණෙනි, මේ පිළින්දිගොත්‍රයෙහි උපන් වච්ඡ නම්වූ හෙවත් පිලින්දිවච්ඡ ස්ථවිර තෙම දෙවියන්ට ප්‍රිය මනාපවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි.

216

බාහිය දාරුවීරිය එතදග්ග සූත්‍රය—“මහණෙනි, (දැව පතුරෙන් කළ වැහැරි දැරූ නිසා) දාරුවීරියයි කියන ලද බාහිය නම්වූ මේ ස්ථවිර තෙම වහාලත් අරහත් ඵලාවබොධය ඇති භික්ෂූන් අතුරෙන් අග්‍රයි.

217

කුමාරකස්සප එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ කුමාරකාශ්‍යප ස්ථවිර තෙම විසිතුරු කොට බණ කියන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්‍රයි.

218

මහාකොට්ඨිත එතදග්ග සූත්‍රය—“මහණෙනි, මේ මහාකොට්ඨිත ස්ථවිර තෙම සිවු පිළිසිඹියාවට පත් භික්ෂූන් අතුරෙන් අග්‍රයි.

තුන්වෙනි වර්ගයයි.