අංගුත්තර නිකාය

එක නිපාතය

16. අට්ඨාන වර්ගය

268

නිච්චතූපගමන සූත්‍රය—“මහණෙනි, මාර්ග දෘෂ්ටියෙන් යුක්තවූ, (සෝවාන්වූ) පුද්ගලයෙක් යම් හේතුවක් නිසා කිසි සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේය යන මේ කාරණය

හේතු රහිතයි. ප්‍රත්‍ය රහිතයි. මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් විද්‍යමාන වේ (එනම්) පෘථග්ජන පුද්ගලයෙක් යම් හේතුවක් නිසා කිසි සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේය. මේ කාරණය විද්‍යමාන වේ”

269

සුඛතූපගමන සූත්‍රය—“මහණෙනි, මාර්ගදෘෂ්ටියෙන් යුක්තවූ (සෝවාන්වූ) පුද්ගලයෙක් යම් හේතුවක් නිසා කිසි සංස්කාරයක් සැප වශයෙන් ගන්නේය, යන මේ කාරණය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි එවැනි දෙයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මෙබඳු දෙයක් නම් විද්‍යමාන වේ. (එනම්) යම් හෙයකින් පෘථග්ජන පුද්ගලයෙක් කිසි සංස්කාරයක් සැප වශයෙන් ගන්නේය, යන මේ කාරණය නම් විද්‍යමාන වේ.”

270

අත්තතූපගමන සූත්‍රය—“මහණෙනි, මාර්ගදෘෂ්ටියෙන් යුක්තවූ (සෝවාන්වූ) පුද්ගලයෙක් තෙම කිසි ධර්මයක් ආත්ම වශයෙන් ගන්නේය. යන මේ කාරණය හේතු රහිතයි. ප්‍රත්‍ය රහිතයි. එවැනි දෙයක් විද්‍යමාන නොවේ “මහණෙනි, මේ කාරණය නම් විද්‍යමාන වේ. (එනම්) යම් හෙයකින් පෘථග්ජනයෙක් කිසි ධර්මයක් ආත්ම වශයෙන් ගන්නේය, යන මේ කාරණය නම් විද්‍යමාන වේ”

271

මාතුජීවිත සූත්‍රය—“මහණෙනි, මාර්ගදෘෂ්ටියෙන් යුක්තවූ (සෝවාන්වූ) පුද්ගලයෙක් යම් හේතුවක් නිසා වැදූ මව ජීවිතයෙන් තොර කරන්නේය. යන මේ කාරණය හේතු රහිත වේ, ඒ ප්‍රත්‍යය රහිතයි. එබඳු දෙයක් දක්නට නැත. මහණෙනි, මෙබඳු දෙයක් නම් විද්‍යමානවේ. (එනම්) පෘථග්ජන තෙම යම් හෙයකින් මව ජීවිතයෙන් තොර කරන්නේය, යන මේ කාරණය නම් විද්‍යමාන වේ.”

272

පිතුජීවිත සූත්‍රය—“මහණෙනි, මාර්ගදෘෂ්ටියෙන් යුක්තවූ (සෝවාන්වූ) පුද්ගලයෙක් යම් හේතුවක් නිසා ස්වකීය පියා ජීවිතයෙන් තොර කරන්නේය, යන මේ කාරණය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. මෙබඳු දෙයක් දක්නට නොලැබේ. මහණෙනි, මෙවැනි දෙයක් නම් දක්නට ලැබේ. (එනම්) යම් හේතුවක් නිසා පෘථග්ජනයෙක් ස්වකීය පියා ජීවිතයෙන් තොර කරන්නේය, යන මේ කාරණය නම් විද්‍යමාන වේ.”

273

අරහත්තජීවිත සූත්‍රය—“මහණෙනි, මාර්ගදෘෂ්ටියෙන් සම්පූර්ණවූ (සෝවාන්වූ) පුද්ගලයෙක් තෙම යම් හේතුවක් නිසා රහත් කෙනෙකුන් ජීවිතයෙන් තොර කරන්නේය, යන මෙය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. එවැනි කාරණයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මෙබඳු දෙයක් නම් දක්නට ලැබේ. (එනම්) යම් හේතුවක් නිසා පෘථග්ජනයෙක් රහත් කෙනෙකුන් ජීවිතයෙන් තොර කරන්නේය, යන මේ දේ නම් විද්‍යමාන වේ.”

274

ලොහිතුප්පාද සූත්‍රය—“මහණෙනි, මාර්ගදෘෂ්ටියෙන් සම්පූර්ණවූ (සෝවාන්වූ) පුද්ගලයෙක් යම් හේතුවක් නිසා තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් දූෂ්‍යවූ සිතින් ලේ උපදවන්නේය, යන මේ කාරණය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. එබඳු දෙයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මෙබඳු දෙයක් නම් දක්නට ලැබේ. (එනම්) යම් හේතුවක් නිසා පෘථග්ජනයෙක් තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් දූෂ්‍යවූ සිතින් යුක්තව ලේ උපදවන්නේය, යන මේ කාරණය නම් විද්‍යමානවේ.”

275

සංඝභෙද සූත්‍රය—“මහණෙනි, මාර්ගදෘෂ්ටියෙන් සම්පූර්ණවූ (සෝවාන්වූ) පුද්ගලයෙක් තෙම යම් හේතුවක් නිසා සංඝයා භේද කරන්නේය යන මේ කාරණය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. එබඳු දෙයක් විද්‍යමාන නොවේ මහණෙනි, මෙබඳු දෙයක් නම් විද්‍යමාන වේ (එනම්) යම් හෙයකින් පෘථග්ජනයෙක් සංඝයා බිඳුවන්නේය, යන මේ කාරණය නම් දක්නට ලැබේ.”

276

අඤ්ඤසත්ථාරුදේදස සූත්‍රය—“මහණෙනි, මාර්ගදෘෂ්ටියෙන් සම්පූර්ණවූ (සෝවාන්) පුද්ගලයෙක් යම් හෙයකින් අන්‍ය ශාස්තෘවරයෙක් අදහන්නේය, යන මේ කාරණය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. එබඳු දෙයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මෙබඳු දෙයක් නම් දක්නට ලැබේ. (එනම්) යම් හෙයකින් පෘථග්ජනයෙක් අන්‍ය ශාස්තෘවරයෙකු විශ්වාස කරන්නේය, යන මේ කාරණය නම් විද්‍යමාන වේ.”

277

එකසම්මාසම්බුද්ධ සූත්‍රය—“මහණෙනි, එක ලොක ධාතුවෙක්හි අර්හත්වූ සම්‍යක් සම්බුදුවරයන් වහන්සේලා දෙනමක් පෙර නොව පසු නොව (එකවර) උපදින්නාහුය. යන මේ කාරණයක් වේද ඒ හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. ඒ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මෙබඳු දෙයක් නම් ඇත්තේය. (එනම්) යම් හෙයකින් එක ලොකධාතුවෙක්හි අර්හත්වූ එකම සම්බුදුවරයෙක් උපදනේය යන මේ කාරණය වනාහි විද්‍යමානවේ.”