අංගුත්තර නිකාය

එක නිපාතය

16. අට්ඨාන වර්ගය

278

එකචක්කවත්ති සූත්‍රය. “මහණෙනි, එක ලොක ධාතුවෙක්හි සක්විති රජවරු දෙදෙනෙක් පෙර නොව පසු නොව (එකවර) උපදනාහුය යන මේ කාරණයක් වේද ඒ හේතුරහිතයි. ප්‍රත්‍යය රහිතයි. මේ කාරණය විද්‍යමානනොවේ. මහණෙනි, මෙබඳු දෙයක් නම් ඇත්තේය. (එනම්) එක ලොකධාතුවෙක්හි එකම සක්විති රජෙක් උපදනේය යන මේ කාරණයක් වේද ඒ වනාහි විද්‍යමානවේ.”

279

පුරිසසම්මාසම්බොධි සූත්‍රය. “මහණෙනි, ස්ත්‍රියක් තොම අර්හත්වූ සම්‍යක් සම්බුදුවරයෙක් වේය යන මේ කාරණයක් වේද, ඒ හේතුරහිතයයි. ප්‍රත්‍යය රහිතයි ඒ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් විද්‍යමාන වේ (එනම්) යම්හෙයකින් පුරුෂයෙක් අර්හත්වූ සම්‍යක් සම්බුදුවරයෙක් වේද, මේ කාරණය නම් විද්‍යමානවේ.

280

පුරිස චක්කවත්ති සූත්‍රය. “මහණෙනි, ස්ත්‍රියක් තොම සක්විති රජෙක් වේය යන මේ කාරණය හේතුරහිතයි. ප්‍රත්‍යය රහිතයි. ඒ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) යම්හෙයකින් පුරුෂයෙක් සක්විතිරජ වේද මේ කාරණය නම් විද්‍යමානවේ.”

281

පුරිසසක්කත්ත සූත්‍රය—“මහණෙනි, ස්ත්‍රියක් තොම ශක්‍ර ආත්මය ලබන්නීය යන මේ කාරණය හේතු රහිතයි ප්‍රත්‍යය රහිතයි. ඒ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) යම් හෙයකින් පුරුෂයෙක් ශක්‍රආත්මය ලබන්නේය. මේ කාරණය නම් විද්‍යමාන වේ.”

282

පුරිසමාරත්ත සූත්‍රය—“මහණෙනි, ස්ත්‍රියක් තොම මාර ආත්මය ලබන්නීය යන මේ කාරණය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. ඒ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) යම්හෙයකින් පුරුෂයෙක් මාර ආත්මය ලබන්නීය. මේ කාරණය නම් විද්‍යමාන වේ.”

283

පුරිසබ්‍රහ්මන්ත සූත්‍රය—“මහණෙනි, ස්ත්‍රියක්තොම බ්‍රහ්ම ආත්මය ලබන්නීය. යන මේ කාරණය හේතු රහිතයි ප්‍රත්‍යය රහිතයි. ඒ කාරණය විද්‍යමාන නොවේ. “මහණෙනි, මේ කාරණය නම් දක්නටලැබේ (එනම්) යම් හෙයකින් පුරුෂයෙක් බ්‍රහ්ම ආත්මය ලබන්නීය, යන මේ කාරණය නම් විද්‍යමානවේ”

284

කායදුච්චරිතවිපාක සූත්‍රය—“මහණෙනි, කාය දුශ්චරිතයෙන් ප්‍රියවූ, සිත්කළුවූ, මනවඩන්නාවූ විපාකයක් උපදනේයයි නම් කරුණක් වේද ඒ හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. එබඳු දෙයක් සිදුනොවන්නේය. මහණෙනි, මේ කාරණය නම් සිදුවේ (එනම්) යම්හෙයකින් කායදුශ්චරිතයාගේ අප්‍රිය වූ, අකාන්තවූ අමනාපවූ විපාකයක් උපදනේය. යන මේ කාරණය නම් සිදුවන්නේය.”

285

වචීදුච්චරිතවිපාක සූත්‍රය—“මහණෙනි, වචී (වචන) දුශ්චරිතයෙන් ප්‍රියවූ, සිත්කලුවූ, මනවඩන්නාවූ විපාකයක් උපදනේයයි යම් කරුණක්වේද ඒ හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. එබඳු දෙයක් සිදුනොවන්නේය. මහණෙනි මේ කාරණය නම් සිදුවේ. (එනම්) යම්හෙයකින් වචී (වචන) දුශ්චරිතයාගේ අප්‍රියවූ, අකාන්තවූ අමනාපවූ විපාකයක් උපදනේය යන මේ කාරණය නම් සිදුවන්නේය.”

286

“මහණෙනි, මනෝ (හිතේ) දුශ්චරිතයෙන් ප්‍රියවූ, සිත්කලුවූ, මනවඩන්නාවූ විපාකයක් උපදනේයයි යම් කරුණක් වේද ඒ හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. එබඳු දෙයක් සිදුනොවන්නේය මහණෙනි, මේ කාරණය නම් සිදුවේ. (එනම්) යම්හෙයකින් මනෝ (හිතේ) දුශ්චරිතයාගේ අප්‍රියවූ, අකාන්තවූ අමනාපවූ විපාකයක් උපදනේය යන මේ කාරණය නම් සිදුවන්නේය.”