අංගුත්තර නිකාය
එක නිපාතය
16. අට්ඨාන වර්ගය
287
කායසුචරිතවිපාක සූත්‍රය. “මහණෙනි යම්හෙයකින් කාය සුචරිතයාගේ අනිෂ්ටවූ, අප්‍රියවූ, අමනාපවූ, විපාකයක් උපදනේය යන මෙය හේතු රහිතයි ප්‍රත්‍යය රහිතයි. එවැනි කාරණයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් විද්‍යමානවේ (එනම් යම්හෙයකින් කාය සුචරිතයාගේ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, විපාකයක් උපදනේය යන මේ කාරණය නම් විද්‍යමානවේ.”
288
වචීසුචරිතවිපාක සූත්‍රය “මහණෙනි, යම්හෙයකින් වචී (වචන) සුචරිතයාගේ අනිෂ්ටවූ අප්‍රියවූ, අමනාපවූ විපාකයක් උපදනේය යන මෙය හේතු රහිතයි ප්‍රත්‍යය රහිතයි. එවැනි කාරණයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් විද්‍යමානවේ (එනම්) යම්හෙයකින් වචී (වචන) සුචරිතයාගේ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ විපාකයක් උපදනේය යන මේ කාරණය නම් විද්‍යමානවේ”
289
මනොසුචරිත විපාක සූත්‍රය. “මහණෙනි, යම් හෙයකින් මනෝ (හිතේ) සුචරිතයාගේ අනිෂ්ටවූ, අප්‍රියවූ අමනාපවූ විපාකයක් උපදනේය යන මෙය හේතු රහිතයි ප්‍රත්‍යය රහිතයි එවැනි කාරණයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් විද්‍යමානවේ. (එනම්) යම්හෙයකින් මනෝ (හිතේ) සුචරිතයාගේ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ විපාකයක් උපදනේය යන මේ කාරණය නම් විද්‍යමානවේ.”
290
කායදුච්චරිතසමංගී සූත්‍රය. “මහණෙනි, යම් හෙයකින් කායදුශ්චරිතයෙන් යුත් පුද්ගලතෙම එය හේතුකොටගෙන, එය ප්‍රත්‍යයකොට ගෙන ශරීරය බිඳී යාමෙන් පසු මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ ස්වර්ගලෝකයෙහි උපදින්නේය යන මෙය හේතුරහිතයි ප්‍රත්‍යය රහිතයි. එවැනි කාරණයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) යම්හෙයකින් කායදුශ්චරිතයෙන් යුත් පුද්ගල තෙම එය හේතුකොටගෙන, එය ප්‍රත්‍යය කොටගෙන, ශරීරයාගේ භේදයෙන් පසු මරණින් මත්තෙහි සැපයෙන් තොරවූ නපුරු ගති ඇති විකාරව වැටෙන්නාවූ නරකයෙහි උපදින්නේය යන මේ කාරණයනම් විද්‍යමානවේ.”
291
වචීදුච්චරිතසමංගී සූත්‍රය. “මහණෙනි, යම් හෙයකින් වචී (වචන) දුශ්චරිතයෙන් යුත් පුද්ගලතෙම එය හේතුකොටගෙන, එය ප්‍රත්‍යයකොටගෙන ශරීරය බිඳීයාමෙන් පසු මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ ස්වර්ගලෝකයෙහි උපදින්නේය යන මෙය හේතුරහිතයි ප්‍රත්‍යය රහිතයි. එවැනි කාරණයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ (එනම්) යම්හෙයකින් වචී (වචන) දුශ්චරිතයෙන් යුත් පුද්ගලතෙම එය හේතුකොටගෙන, එය ප්‍රත්‍යයකොටගෙන, ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි සැපයෙන් තොරවූ නපුරු ගති ඇති, විකාරව වැටෙන්නාවූ නරකයෙහි උපදින්නේය යන මේ කාරණය නම් විද්‍යමාන වේ.”
292
මනොදුච්චරිතසමංගී සූත්‍රය. “මහණෙනි, යම් හෙයකින් මනෝ (හිතේ) දුශ්චරිතයෙන් යුත් පුද්ගලතෙම එය හේතුකොටගෙන, එය ප්‍රත්‍යය කොටගෙන ශරීරය බිඳීයාමෙන් පසු මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදින්නේය යන මෙය හේතු රහිතයි ප්‍රත්‍යය රහිතයි. එවැනි කාරණයක් විද්‍යමාන නොවේ මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ (එනම්) යම්හෙයකින් මනෝ (හිතේ) දුශ්චරිතයෙන් යුත් පුද්ගල තෙම එය හේතුකොට ගෙන, එය ප්‍රත්‍යය කොටගෙන ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි සැපයෙන් තොරවූ නපුරු ගතිඇති, විකාරව වැටෙන්නාවූ නරකයෙහි උපදින්නේය යන මේ කාරණය නම් විද්‍යමාන වේ.”
293
කායසුචරිතසමංගී සූත්‍රය—“මහණෙනි, යම් හෙයකින් කාය සුචරිතයෙන් යුක්තවූ පුද්ගල තෙම එය මූලකාරණා (හේතු) කොටගෙන, එය ප්‍රත්‍යය කොටගෙන ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි සැපයෙන් පහවූ, දුර්ගති ඇති, විකාරව වැටෙන්නාවූ නරකයෙහි උපදින්නේය යන මේ කාරණය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි දක්නට නැත. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ (එනම්) මහණෙනි, යම් හෙයකින් කාය සුචරිතයෙන් යුක්තවූ පුද්ගල තෙම එය හේතුකොට ගෙන, එය ප්‍රත්‍ය කොටගෙන, ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ ස්වර්ගලෝකයෙහි උපදින්නේය යන මේ කාරණය නම් විද්‍යමානවේ”
294
වචීසුචරිතසමංගී සූත්‍රය—‘මහණෙනි, යම්හෙයකින් වචී (වචන) සුචරිතයෙන් යුක්තවූ පුද්ගලතෙම එය මූලකාරණා (හේතු) කොටගෙන, එය ප්‍රත්‍යය කොටගෙන ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි සැපයෙන් පහවූ, දුර්ගති ඇති, විකාරව වැටෙන්නාවූ නරකයෙහි උපදින්නේය යන මේ කාරණය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. දක්නට නැත. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) මහණෙනි, යම්හෙයකින් වචී (වචන) සුචරිතයෙන් යුක්තවූ පුද්ගලතෙම එය හේතුකොටගෙන, එය ප්‍රත්‍යය කොට ගෙන ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ ස්වර්ගලොකයෙහි උපදින්නේය යන මේ කාරණය නම් විද්‍යමානවේ.”
295
මනොසුචරිතසමංගී සූත්‍රය—“මහණෙනි, යම් හෙයකින් මනො (හිතේ) සුචරිතයෙන් යුක්තවූ පුද්ගලතෙම එය හේතුකොටගෙන, එය ප්‍රත්‍යයකොට ගෙන ශරීරයාගේ භේදයෙන් පසු මරණින් මත්තෙහි සැපයෙන් පහවූ, දුර්ගති ඇති, විකාරව වැටෙන්නාවූ නරකයෙහි උපදින්නේය. යන මෙය හේතුරහිතයයි. ප්‍රත්‍යය රහිතයි. මේ කාරණය නම් විද්‍යමානවේ (එනම්) යම්හෙයකින් මනොසුචරිතයෙන් යුක්තවූ පුද්ගලතෙම එය හේතුකොටගෙන එය ප්‍රත්‍යයකොට ගෙන ශරීරයාගේ භෙදයෙන් පසු, මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ ස්වර්ගලෝකයෙහි උපදින්නේය යන මේ කාරණය නම් විද්‍යමානවේ.”
අට්ඨාන වර්ගය නිමි.