අංගුත්තර නිකාය
එක නිපාතය
17. එකධර්ම වර්ගය
296
බුද්ධානුස්සති සූත්‍රය:—1. “මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදුකරන ලද්දේ ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස විශිෂ්ට ඥානය පිණිස, චතුරාර්‍ය්‍යසත්‍යය අවබොධය පිණිස, නිර්වාණය අත්පත් කිරීම පිණිස පවතී.
2. “කවර නම් එකම ධර්මයක්ද? බුද්ධානුස්මෘතිය (බුදුගුණ සිහිකිරීම) යි.
3. “මහණෙනි, මේ එකම ධර්මය වඩනලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරන ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලෙශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස චතුරාර්‍ය්‍යසත්‍ය අවබොධය පිණිස, නිර්වාණය අත්පත් කිරීම පිණිස පවතී”
297–305
(මේ වර්ගයේ 297–305 සූත්‍රවල 1. 3. ඡෙද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1. 3. ඡෙද මෙන් වෙත්.)
ධම්මානුස්සති සූත්‍රය:—කවරනම් එකම ධර්මයක්ද? ධර්මානුස්මෘතියයි
සංඝානුස්සති සූත්‍රය:—කවරනම් එකම ධර්මයක්ද? සංඝානුස්මෘතියයි.
සීලානුස්සති සූත්‍රය:—කවරනම් එකම ධර්මයක්ද? සීලානුස්මෘතියයි (ශීලයෙහි ගුණ සිහිකිරීමයි)
චාගානුස්සති සූත්‍රය:—කවරනම් එකම ධර්මයක්ද? දීමෙහි ගුණ සිහිකිරීමයි.
දෙවතානුස්සති සූත්‍රය:—කවරනම් එකම ධර්මයක්ද? දෙවියන් සාක්ෂිකොට ගුණධර්ම සිහිකිරීමයි
ආනාපානසති සූත්‍රය:—කවරනම් එකම ධර්මයක්ද? ආශ්වාස ප්‍රශ්වාස නිමිතිකොට ඇති සිහියයි.
මරණසති සූත්‍රය:—කවරනම් එකම ධර්මයක්ද? මරණය ගැන සිහිකිරීමයි.
කායගතාසති සූත්‍රය:—කවරනම් එකම ධර්මයක්ද? ශරීරයේ පිළිකුල් බව ගැන සිහිකිරීමයි.
උපසමානුස්සති සූත්‍රය:—කවරනම් එකම ධර්මයක්ද? දුක් සංසිඳීම අරමුණුකොට ඇති සිහියයි.
ප්‍රථම වර්ගයයි.