අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

3. තතිය පණ්ණාසකය

(11) 1. සමණසඤ්ඤා වර්‍ගය

10. නිද්‍ධමනීයධම්ම සූත්‍රය

’’මහණෙනි, මේ පිට කළ යුතු ධර්‍ම දහයක් වෙත්. කවර දහයක්ද යත්?

’’මහණෙනි, සම්‍යක් දෘෂ්ටිකයාහට මිත්‍යාදෘෂ්ටිය පිටකළා වේ. මිත්‍යාදෘෂ්ටි හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්ද, ඔවුන්ද ඔහු විසින් පහකළාහු වෙත්. සම්‍යක් දෘෂ්ටි හේතුවෙන් නොයෙක් කුශල ධර්‍මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවිමට යත්.

’’මහණෙනි, යහපත් කල්පනා ඇත්තාහට වැරදි කල්පනාව පිටකළා වේ. වැරදි කල්පනාවේ හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්ද, ඔවුන්ද ඔහු විසින් පහකළාහු වෙත්. යහපත් කල්පනාවේ හේතුවෙන් නොයෙක් කුශල ධර්‍මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවිමට යත්.

’’මහණෙනි, යහපත් වචන ඇත්තාහට වැරදි වචන පිටකළා වේ. වැරදි වචනයන්ගේ හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්ද, ඔවුන්ද ඔහු විසින් පහකළාහු වෙත්. යහපත් වචනයන්ගේ හේතුවෙන් නොයෙක් කුශල ධර්‍මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවිමට යත්.

’’මහණෙනි, යහපත් කර්‍මාන්ත ඇත්තාහට වැරදි කර්‍මාන්ත පිටකළා වේ. වැරදි කර්‍මාන්තයන්ගේ හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්ද, ඔවුන්ද ඔහු විසින් පහකළාහු වෙත්. යහපත් කර්‍මාන්තයන්ගේ හේතුවෙන් නොයෙක් කුශල ධර්‍මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවිමට යත්.

’’මහණෙනි, යහපත් ජීවිකාව ඇත්තාහට වැරදි ජීවිකාව පිටකළා වේ. වැරදි ජීවිකාවේ හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්ද, ඔවුන්ද ඔහු විසින් පහකළාහු වෙත්. යහපත් ජීවිකාවේ හේතුවෙන් නොයෙක් කුශල ධර්‍මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවිමට යත්.

’’මහණෙනි, යහපත් වීර්‍ය්‍ය ඇත්තාහට වැරදි වීර්‍ය්‍ය පිටකළා වේ. වැරදි වීර්‍ය්‍යයේ හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්ද, ඔවුන්ද ඔහු විසින් පහකළාහු වෙත්. යහපත් වීර්‍ය්‍යයේ හේතුවෙන් නොයෙක් කුශල ධර්‍මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවිමට යත්.

’’මහණෙනි, යහපත් සිහිය ඇත්තාහට වැරදි සිහිය පිටකළා වේ. වැරදි සිහියේ හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්ද, ඔවුන්ද ඔහු විසින් පහකළාහු වෙත්. යහපත් සිහියේ හේතුවෙන් නොයෙක් කුශල ධර්‍මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවිමට යත්.

’’මහණෙනි, යහපත් සමාධිය ඇත්තාහට වැරදි සමාධිය පිටකළා වේ. වැරදි සමාධියේ හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්ද, ඔවුන්ද ඔහු විසින් පහකළාහු වෙත්. යහපත් සමාධියේ හේතුවෙන් නොයෙක් කුශල ධර්‍මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවිමට යත්.

’’මහණෙනි, යහපත් නුවණ ඇත්තාහට වැරදි නුවණ පිටකළා වේ. වැරදි නුවණේ හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්ද, ඔවුන්ද ඔහු විසින් පහකළාහු වෙත්. යහපත් නුවණේ හේතුවෙන් නොයෙක් කුශල ධර්‍මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවිමට යත්.

’’මහණෙනි, යහපත් මිදීම ඇත්තාහට වැරදි මිදීම පිටකළා වේ. වැරදි මිදීමේ හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ පහළවෙත්ද, ඔවුන්ද ඔහු විසින් පහකළාහු වෙත්. යහපත් මිදීමේ හේතුවෙන් නොයෙක් කුශල ධර්‍මයෝ වැඩීමෙන් සම්පූර්‍ණවිමට යත්. මහණෙනි, මේ දසය පිටකළයුතු ධර්මයෝය.