අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
1. පඨම පණ්ණාසකය
4. උපාලි වර්‍ගය
10. ආනන්‍දසාමග්ගි සූත්‍රය
’’ස්වාමීනි, සංඝසාමග්‍රිය, සංඝ සාමග්‍රියයයි කියයි. ස්වාමිනි, නොපමණකින් සංඝ සාමග්‍රිය වේද?’’
’’ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම අධර්මය, අධර්මයයි ප්‍රකාශ කරත්ද, ධර්මය, ධර්මයයයි ප්‍රකාශ කරත්ද, විනය නොවූවක්, විනයයයි ප්‍රකාශ නොකරත්ද, විනය, විනයයයි ප්‍රකාශ කරත්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, නොකියන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලදී, නොකියන ලදීයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් කියන ලද්ද, ප්‍රකාශ කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් කියන ලදැයි, ප්‍රකාශ කරණ ලදැයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලදැයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්දේයයි ප්‍රකාශ කරත්. මේ දස වස්තූන්ගෙන් පස්සට හෝ, ඉවතට නොඅදියි. වෙන් වෙන් කර්ම නොකරත්. වෙන් වෙන්ව ප්‍රාතිමොක්‍ෂය දේශනා නොකරත්. ආනන්‍දය, මෙපමණකින් සංඝයා සමගිවූයේ වේ.’’
’’ස්වාමීනි, බිදුනු සංඝයා සමගිකර හෙතෙම කුමක් රැස් කරයිද?’’
’’ආනන්‍දය, බ්‍රහ්ම පිනක් රැස් කරයි.’’
’’ස්වාමීනි, බ්‍රහ්ම පින කවරේද?’’
’’ආනන්‍දය, කල්පයක් ස්වර්‍ගයෙහි සතුටුවීමයි.’’
’’සංඝ සාමග්‍රියද, සමගිවූවන්ට අනුග්‍රහ කිරීමද, සැපය. සමගියෙහි ඇලුනු, ධර්මයෙහි පිහිටි තැනැත්තේ නිවණින් ඈත් නොවෙයි. සංඝයා සමගිකොට කල්පයක් ස්වර්ගයෙහි සතුටු වේ.’’
උපාලි වර්‍ගය නිමි.