අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

1. පඨම පණ්ණාසකය

5. අක්කොසක වර්‍ගය

1. සංඝභෙදහෙතු සූත්‍රය

ඉක්බිති ආයුෂ්මත් උපාලි ස්ථවිරයෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, යම් කරුණකින් සංඝයා කෙරෙහි ඩබර කිරීම, කලහ කිරීම, විරුද්‍ධ ග්‍රහණය, විවාද උපදිත්ද, භික්‍ෂූහුද සුවසේ වාසය නොකරත්ද, ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද?’’

’’උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම අධර්මය, ධර්මයයි ප්‍රකාශ කරත්. උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම අධර්මය, ධර්මයයි ප්‍රකාශ කරත්ද, ධර්මය, අධර්මයයයි ප්‍රකාශ කරත්ද, විනය නොවූවක්, විනයයයි ප්‍රකාශ කෙරෙත්ද, විනය, විනය නොවේයයි ප්‍රකාශ කෙරෙත්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, නොකියන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි, කියන ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. ඔවුහු මේ දස වස්තූන්ගෙන් පස්සට හෝ, ඉවතට අදී. වචනයෙන් අදිත්. වෙන් වෙන් කර්ම කරත්. වෙන් වෙන්ව ප්‍රාතිමොක්‍ෂ දෙසත්. උපාලිය, මෙපමණකින් සංඝයා බිඳුනේ වේ. උපාලිය, සංඝයා කෙරෙහි ඩබර කිරීම, කලහ කිරීම, විරුද්‍ධ ග්‍රහණය, විවාද උපදිත්ද, භික්‍ෂූහුද සුවසේ වාසය නොකරත්ද, මේ ඊට හේතුය. මේ ඊට ප්‍රත්‍යයයි’’ වදාළ සේක.