අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

2. දුතිය පණ්ණාසකය

(6) 1. සචිත්ත වර්‍ගය

2. සාරිපුත්ත සචිත්ත පරියාය සූත්‍රය

එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ’ඇවැත්නි, මහණෙනි,’ යි කියා භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහු, ’ඇවැත්නි.’ යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට ප්‍රති වචන දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ’ඇවැත්නි, ඉදින් මහණතෙම අනුන්ගේ සිතේ ආකාරය දැනීමේ දක්‍ෂ නොවේද, මහණෙනි, තමාගේ සිතේ ආකාරය දැනීමේ දක්‍ෂයෙක් වන්නෙමියි තොප විසින් මෙසේ හික්මිය යුතුය’’ යි වදාළ සේක.

’’ ඇවැත්නි, කෙසේ මහණතෙම තමාගේ සිතේ ආකාරය දැනීමෙහි දක්‍ෂ වේද? ඇවැත්නි, යම්සේ බාලවූ, තරුණවූ, සැරසීමට කැමති ස්ත්‍රියක් හෝ, පුරුෂයෙක් හෝ, කැඩපතක හෝ, පිරිසිදු බබලන දිය බඳුනක හෝ, සිය මුහුන බලන්නේ, ඉදින් එහි දූවිල්ලක් හෝ, කිලුටක් හෝ, පෙනේද, ඒ දූවීල්ල හෝ කිලුට නැතිකිරීම පිණිස වෑයම්කරයි. එහි දූවිල්ලක් හෝ කිලුටක් නොදකීද, ඉන් සම්පූර්‍ණ අදහස් ඇත්තේ, ’මට ඒකාන්තයෙන් ලාභයකි, ඒකාන්තයෙන් මා පිරිසිදුය’ යි සතුටු වූයේ වේ.

’’ ඇවැත්නි, එසේම මහණහට කුශල ධර්‍මයන්හි නුවණින් සිහි කිරීම බොහෝ උපකාරවේ. බොහෝකොට දැඩි ලෝභය බහුලකොට ඇත්තේ වාසය කරම්ද, දැඩි ලෝභය බහුලකොට නැතිව වාසය කරම්ද, බොහෝකොට කෝපවූ සිතින් වාසය කරම්ද, කෝප නොවූ සිතින් බොහෝකොට වාසය කරම්ද, සිත කය දෙකේ මැලි ගතියෙන් මඩනා ලද්දේ බොහෝ කොට වාසය කරන්නෙම්ද, සිත කය දෙකේ පහවූ මැලි ගතියෙන් වාසය කරන්නෙම්ද, විසුරුණු සිතින් බොහෝකොට වාසය කරම්ද, බොහෝකොට නොවිසුරුණු සිතින් වාසය කරම්ද, බොහෝකොට සැක ඇතිව වාසය කරම්ද, පහවූ විචිකිච්ඡා ඇතිව බොහෝ සේ වාසය කරම්ද, බොහෝ සේ ක්‍රොධ කරණ සුළුව වාසය කරම්ද, බොහෝ සේ ක්‍රොධ නොකරණ සුළුව වාසය කරම්ද, බොහෝ සේ කිලිටි සිතින් වාසය කරම්ද, බොහෝ සේ නොකිලිටි සිතින් වාසය කරම්ද, දාහ සහිතවූ කයින් බොහෝකොට වාසය කරම්ද, බොහෝකොට කුසීතව වාසය කරම්ද, බොහෝකොට පටන්ගත් වීර්‍ය්‍ය ඇතිව වාසය කරම්ද, බොහෝකොට එකඟ නැති සිත් ඇතිව වාසය කරම්ද, බොහෝකොට එකඟ සිත් ඇතිව වාසය කරම්දැයි කියායි.

’’ ඇවැත්නි, ඉදින් මහණතෙම, නුවණින් සිහි කරන්නේ, ’බොහෝකොට දැඩි ලොභ ඇතිව වාසය කරමි, බොහෝකොට කෝපවූ සිතින් වාසය කරමි, බොහෝකොට මැලි ගතියෙන් මඩනා ලදුව වාසය කරමි, බොහෝකොට සැක ඇතිව වාසය කරමි, බොහෝකොට ක්‍රොධ කරණ සුළුව වාසය කරමි, බොහෝකොට කිලිටි සිතින් වාසය කරමි, බොහෝකොට දාහ සිතින් වාසය කරමි, බොහෝකොට කුසීතවූ සිතින් වාසය කරමි, බොහෝකොට එකඟ නැති සිතින් වාසය කරමියි මෙසේ දනී. ඇවැත්නි, ඒ මහණ විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස බොහෝ කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, මහත් උත්සාහයක්ද, පසු නොබැසීමක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කටයුතුයි.’’

’’ ඇවැත්නි, යම් සේ ගිනිගත් වස්ත්‍රයක් හෝ හිසක් ඇත්තෙක් ඒ වස්ත්‍රය හෝ හිස හෝ නිවීමට බොහෝ කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, මහත් උත්සාහයක්ද, පසු නොබැසීමක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කටයුතුයි.

’’ ඇවැත්නි, ඉදින් මහණතෙම නුවණින් සිහි කරන්නේ, ’බොහෝකොට දැඩි ලෝභ නැතිව වාසය කරමි. බොහෝකොට කෝප නොවූ සිතින් වාසය කරමි. බොහෝකොට පහවූ නිදිබර ගතිය ඇතිව වාසය කරමි, බොහෝකොට නොවිසුරුණු සිතින් වාසය කරමි, බොහෝකොට පහවූ විචිකිච්ඡා ඇතිව වාසය කරමි, බොහෝකොට ක්‍රොධ නොකර වාසය කරමි, බොහෝකොට කිලිටි නොවූ සිත් ඇතිව වාසය කරමි, බොහෝකොට දාහ රහිත කයින් වාසය කරමි, බොහෝකොට පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇතිව වාසය කරමි, බොහෝකොට එකඟවූ සිත් ඇතිව වාසය කරමි, ඇවැත්නි, ඒ මහණ විසින් ඒ කුශල ධර්මයන්හිම පිහිටා මත්තෙහි ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීම පිණිස භාවනා වැඩිය යුතුය’ යි මෙසේ දනී.’’