අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
2. දුතිය පණ්ණාසකය
(9) 4. ථෙර වර්‍ගය
4. අඤ්ඤාව්‍යාකරණ සූත්‍රය
එකල්හි වනාහි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ, ’’ඇවැත්නි, මහණෙනි,’’ යි භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහු, ’ඇවැත්නි,’ යි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්ට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙම මෙය වදාළ සේක.
’’ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම, ’ඉපදීම ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරණ ලදී. මින් ඉදිරියට අනිකක් නැතැයි දනිමි’ යි රහත්කම ප්‍රකාශ කරති’’ යි කී සේක. ඒ ඔහුට ධ්‍යාන කරණ, සමවැදීමේ දක්‍ෂ, අනුන්ගේ සිත් දැකීමේ දක්‍ෂ, අනුන්ගේ ක්‍රමයෙහි දක්‍ෂ, තථාගතයන් වහන්සේ හෝ, තථාගත ශ්‍රාවකයෙක් හෝ, ප්‍රශ්න කෙරේ, විමසයි, සාකච්ඡා කරයි. හෙතෙම ධ්‍යාන කරණ, සමවැදීමෙහි දක්‍ෂ, අනුන්ගේ සිත් දැනීමේ දක්‍ෂ, අනුන්ගේ සිත් පැවැත්මේ දක්‍ෂ, තථාගතයන් වහන්සේ විසින් හෝ, තථාගත ශ්‍රාවකයන් විසින් හෝ, ප්‍රකාෂ කරණු ලබන්නේ, විමසනු ලබන්නේ, සාකච්ඡා කරණු ලබන්නේ, නිසරුබවට පැමිණේද, හානියට පැමිණේද, අක්‍රමයට පැමිණේද, ව්‍යසනයට පැමිණේද, ඒ මොහු ධ්‍යාන කරණ සුළු, සමවැදීමෙහි දක්‍ෂ, අනුන්ගේ සිත දැනීමේ දක්‍ෂ, අනුන්ගේ සිතේ පැවැත්මේ දක්‍ෂ, තථාගතයන් වහන්සේ හෝ, තථාගත ශ්‍රාවකයෙකු හෝ, මෙසේ සිතින් සිත පතුරුවා මෙනෙහි කෙරෙයි.’’
’’කිමෙක්ද, මේ ආයුෂ්මත් තෙමේ උත්පත්තිය ක්‍ෂය විය, බඹසර වැස නිමවන ලදී, කටයුත්ත කරණ ලදී, මින් මතුවට අනිකක් නැතැයි දනිමි’’ යි කුමක් නම් ප්‍රකාශ කෙරේද? ධ්‍යාන කරණ, සමවැදීමේ දක්‍ෂ, අනුන්ගේ සිත් දැකීමේ දක්‍ෂ, අනුන්ගේ ක්‍රමයෙහි දක්‍ෂ, තථාගතයන් වහන්සේ හෝ, තථාගත ශ්‍රාවකයෙක් හෝ, මෙසේ සිතින් සිත පතුරුවා දැනගනියි.
’’මේ ආයුෂ්මත් තෙමේ ක්‍රොධ ඇත්තේ, බොහෝ සේ ක්‍රොධයෙන් මැඩගත් සිතින් වාසය කරයි. මේ ක්‍රොධයෙන් මැඩ ගැනීම වනාහි තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙහි පිරිහීමකි. මේ ආයුෂ්මත් තෙමේ බද්‍ධ වෛරයෙන් යුක්තය. බොහෝ සේ බද්‍ධ වෛරයෙන් යටකොට ගත් සිතින් වාසය කරයි. බද්‍ධ වෛරය නැගීම වනාහි තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙහි පිරිහීමකි.
’’මේ ආයුෂ්මත් තෙමේ ගුණමකුකමෙන් යුක්තය. බොහෝ සේ ගුණමකුකමෙන් යටකොට ගත් සිතින් වාසය කරයි. ගුණමකුකම නැගීම වනාහි තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙහි පිරිහීමකි.
’’මේ ආයුෂ්මත් තෙමේ ශ්‍රෙෂ්ඨයන් තමා සමකොට සිතීමෙන් යුක්තය. බොහෝ සේ ශ්‍රෙෂ්ඨයන් තමා සමකොට සිතීමෙන් යටකොට ගත් සිතින් වාසය කරයි. ශ්‍රෙෂ්ඨයන් තමා සමකොට සිතීම නැගීම වනාහි තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙහි පිරිහීමකි.
’’මේ ආයුෂ්මත් තෙමේ ඊර්‍ෂ්‍යාවෙන් යුක්තය. බොහෝ සේ ඊර්‍ෂ්‍යාවෙන් යටකොට ගත් සිතින් වාසය කරයි. ඊර්‍ෂ්‍යාව නැගීම වනාහි තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙහි පිරිහීමකි.
’’මේ ආයුෂ්මත් තෙමේ මසුරුකමෙන් යුක්තය. බොහෝ සේ මසුරුකමෙන් යටකොට ගත් සිතින් වාසය කරයි. මසුරුකම නැගීම වනාහි තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙහි පිරිහීමකි.
’’මේ ආයුෂ්මත් තෙමේ කෛරාටිකකමෙන් යුක්තය. බොහෝ සේ කෛරාටිකකමෙන් යටකොට ගත් සිතින් වාසය කරයි. කෛරාටිකකම නැගීම වනාහි තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙහි පිරිහීමකි.
’’මේ ආයුෂ්මත් තෙමේ මායාවෙන් යුක්තය. බොහෝ සේ මායාවෙන් යටකොට ගත් සිතින් වාසය කරයි. මායාව නැගීම වනාහි තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙහි පිරිහීමකි.
’’මේ ආයුෂ්මත් තෙමේ පවට කැමැත්තෙන් යුක්තය. බොහෝ සේ පවට කැමැත්තෙන් යටකොට ගත් සිතින් වාසය කරයි. පවට කැමැත්ත නැගීම වනාහි තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙහි පිරිහීමකි.
’’මේ ආයුෂ්මත් තෙමේ සිහි මුළාව ඇත්තේ, මතුවට කළ යුත්තෙහි අල්පමාත්‍රවූ විශෙෂ මාර්‍ග ඵලාවබෝධයක් නොලැබ අතරතුර අවසනට පැමිණියේය. අතරතුර අවසනට පැමිණීමය යන මෙය වනාහි තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙහි පිරිහීමකි.
’’ඇවැත්නි, ඒකාන්තයෙන් ඒ මහණතෙම මේ ධර්‍ම දහය අත්හැර මේ ධර්‍ම විනයෙහි වැඩීමට, උසස්වීමට, මහත්‍වයට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ.’’