අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

2. දුතිය පණ්ණාසකය

(9) 4. ථෙර වර්‍ගය

9. කොකාලික සූත්‍රය

ඉක්බිති කොකාලික මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි කොකාලික මහණතෙම, භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, සැරියුත් මුගලන් දෙදෙන පවිටු අදහස් ඇත්තෝය. පවිටු අදහස්වලට වසඟවූවාහුය.

’’කොකාලිකය, එසේ නැත. කොකාලිකය එසේ නැත. සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙනම සිල්වත්ය’’ යි වදාළ සේක

දෙවනුවත්, කොකාලික මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

’’ස්වාමීනි, කිමෙක්ද, භාග්‍යවතුන් වහන්සේ මා අදහන්නේය. විශ්වාස කරන්නේය. ස්වාමීනි, සැරියුත් මුගලන් දෙදෙන පවිටු අදහස් ඇත්තෝය. පවිටු අදහස්වලට වසඟවූවාහුය.

’’කොකාලිකය, එසේ නැත. කොකාලිකය එසේ නැත. සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙනම සිල්වත්ය’’ යි වදාළ සේක

’’තුන්වෙනුවත් මෙසේ කීය.

ඉක්බිති කොකාලික මහණතෙම ආසනයෙන් නැගිට බුදුන් වැඳ, පැදකුණුකොට ගියේය. ගිය නොබෝ වේලාවකින් කොකාලික මහණහුගේ අබ ඇට පමණ පිළිකාවලින් මුළු සිරුර වැසුණේ වේ. අබ ඇට පමණ වී, මුං ඇට පමණවිය. මුං ඇට පමණ වී, කොල්ලු ඇට පමණ විය. කොල්ලු ඇට පමණ වී, ඩෙබර ඇට පමණ විය. ඩෙබර ඇට පමණ වී, ඩෙබර ගෙඩි පමණ විය. ඩෙබර ගෙඩි පමණ වී, නෙල්ලි ගෙඩි පමණ විය. නෙල්ලි ගෙඩි පමණ වී, බෙලි ගැට පමණ විය. බෙලි ගැට පමණ වී, බෙලි පමණ විය. බෙලි පමණ වී, බිඳුණේය. සැරවද, ලෙයද වැගුරුණේය. විෂ ගිලින ලද මසෙකු මෙන් මේ තෙමේ කෙසෙල් කොළවල සයනය කරයි.

ඉක්බිති තුදු නම් ශුද්ධාවාස බ්‍රහ්මතෙමේ කොකාලික මහණ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, අහසෙහි සිට, කොකාලික මහණහට, ’’කොකාලිකය, සැරියුත්, මුගලන් දෙනම කෙරෙහි සිත පහදින්න. සැරියුත්, මුගලන් දෙනම සිල්වත්ය’’ යි කීයේය. - ’’ඇවැත්නි, ඔබ කවරෙක්ද?’’ ’’මම තුදු නම් ශුද්ධාවාස බ්‍රහ්මයෙක්මි.’’ ’’ඇවැත්නි, ඔබ අනාගාමීයයි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දේ නොවේද?’’

’’මෙහි පැමිණ කොහි හැසිරෙහිද?’’

’’තොපගේ මේ අපරාධය පළමුකොට බලව.’’ ඉක්බිති කොකාලික මහණහට තුදු නම් ශුද්ධාවාස බ්‍රහ්මතෙම මේ ගාථාවන් කීයේය.

නපුරු වචන කියන්නාවු බාලතෙම තමන් යමකින් සිඳීද, උපන් මනුෂ්‍යයාගේ කටේ එබඳු කෙටේරියක් ඇත.

’’යමෙක් නින්දා කළ යුත්තෙකුට ප්‍රශංසා කෙරේද? යමෙක් ප්‍රශංසාර්හද, ඔහුට හෝ නින්දා කරයිද, හෙතෙම මුවින් පාපයක් රැස්කරයි. ඒ පාපයෙන් සැපක් නොවිඳී.

’’දූ කෙළියෙන් යම් ධන පිරිහීමක් ඇද්ද, මේ වරද ස්වල්පමාත්‍රය. යමෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත දූෂ්‍ය කරන්නේද, තමා සමග සියල්ලන්ට මෙය මහත් පාපයකි. ලාමක සිතද, වචනයද පිහිටුවා ආර්‍ය්‍යයන්ට ගරහා අබ්බුද ලක්‍ෂ ගණන්ද, නිරබ්බුද තිසක්ද පසක්ද නරකයට යයි.

ඉක්බිති කොකාලික මහණතෙම ඒ අසනීපයෙන්ම කළුරිය කෙළේය. කළුරිය කළ කොකාලික මහණතෙම සැරියුත්, මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ, පදුම නරකයෙහි ඉපදුනේය.

ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙම රාත්‍රිය පැමිණි කල්හි, මනහර ප්‍රභා ඇතිව, මුළු ජේතවනාරාමය ආලෝකකොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි සහම්පතී බ්‍රහ්මතෙම, භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, කොකාලික මහණතෙම කළුරිය කෙළේය. ස්වාමීනි, කළුරිය කළ කොකාලික මහණතෙම සැරියුත්, මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ, පදුම නිරයෙහි උපන්නේය’’ යි කීයේය. සහම්පතී බ්‍රහ්මතෙම මෙය කීයේය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ, පැදකුණුකොට, එහිම අතුරුදහන් වූයේය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් භික්‍ෂූන් ඇමතූ සේක. ’’මහණෙනි, සහම්පති බ්‍රහ්මතෙම රාත්‍රිය පැමිණි කල්හි, මනහර වර්‍ණයෙන් යුක්තව, මුළු ජේතවනය ආලෝකකර මම යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, මා වැඳ, එකත්පසෙක සිටියේය. මහණෙනි, එකත්පසෙක සිටි සහම්පතී බ්‍රහ්මතෙම, ’’ස්වාමීනි, කොකාලික මහණතෙම කළුරිය කෙළේය. ස්වාමීනි, කළුරිය කළ කොකාලික මහණතෙම සැරියුත්, මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ, පදුම නරකයෙහි උපන්නේය’’ යි කීයේය. මහණෙනි, සහම්පතී බ්‍රහ්මතෙම මෙය කීයේය. මෙය කියා මා වැඳ, පැදකුණුකොට, ගියේය’’ යි වදාළ සේක.

’’මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක්තෙම භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, පදුම නරකයෙහි ආයුෂ ප්‍රමාණය කොපමණ දිගදැ’’ යි ඇසිය. ’’මහණ, පදුම නරකයෙහි ආයුෂ ප්‍රමාණය, මෙතෙක් වර්‍ෂයයි කියා හෝ, මෙතෙක් වර්‍ෂ සියයකැයි කියා හෝ, මෙතෙක් වර්‍ෂ දහසකැයි කියා හෝ, මෙතෙක් වර්‍ෂ ලක්‍ෂයකැයි කියා හෝ, ගණන් කරන්නට පහසු නොවේ.’’ - ’’ස්වාමීනි, උපමාවක් කරන්නට හැක්කේදැ’’ යි ඇසීය. ’’මහණ, හැකිය’’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

’’මහණ, විසි කිරියක් ඇති, (කිරිය කුරුණි 16) කොසොල් රට තල ගැලක් පුරුෂයෙක් තෙම ඉන් වර්‍ෂ සියයකට, වර්‍ෂ සියයකට වරක් එක තල ඇටක් ගන්නේය. මහණ, ඒ විසිකිරියක් ඇති, ඒ කොසොල්රට තල ගැල මේ උපක්‍රමයෙන් ගෙවීමට, ඉතිරි නොවීමට යන්නේ යම් සේද, එක් අබ්බුද නරකයක් (ආයුෂ) ගෙවීමට නොයයි. මහණ, යම් සේ අබ්බුද නරක විස්සක් එක් නිරබ්බුද නරකයක් වේද, මහණ යම් සේ නිරබ්බුද නරක විස්සක් එක් අබබ නරකයක් වේද, මහණ යම් සේ අබබ නරක විස්සක් එක් අහහ නිරයක් වේද, මහණ යම් සේ අහහ නිරය විස්සක් එක් අටට නිරයක් වේද, මහණ යම් සේ අටට නරක විස්සක් එක් කුමුද නරකයක් වේද, මහණ යම් සේ කුමුද නරක විස්සක් එක් සොගන්‍ධික නරකයක් වේද, මහණ යම් සේ සොගන්‍ධික නරක විස්සක් එක් උත්පලක නරකයක් වේද, මහණ යම් සේ උත්පලක නරක විස්සක් මෙසේ එක් පුණ්ඩරීක නරකයක් වේද, මහණෙනි, විසි පුණ්ඩරීක නරකයක් එක් පදුම නිරයකි. මහණ, කොකාලික මහණතෙම සැරියුත්, මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ, පදුම නරකයෙහි උපන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාරා නැවත අනිකක් වදාළ සේක.’’