අඞ්ගුත්තරනිකායො

එකාදසක නිපාතය

2. අනුස්සති වර්‍ගය

3. නන්‍දිය සක්ක සූත්‍රය

එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුර නුවර නිග්‍රොධාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වස් විසීමට පැමිණෙනු කැමැත්තේ වෙයි. නන්දිය නම් ශාක්‍ය රජ තෙම භාග්‍යවතුන් වහන්සේ වනාහි සැවැත් නුවර වස් විසිමට පැමිණෙනු කැමැත්තේයයි ඇසුයේමය. ඉක්බිති නන්දිය නම් ශාක්‍ය රජහට මේ සිත විය. ’’මමද සැවැත් නුවර වැසි කාලයෙහි විසීමට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙක. එහි කර්‍මාන්තයන්ද පිහිටුවන්නෙමි. භාග්‍යවතුන් වහන්සේද කලින් කල දක්නට ලබන්නෙම්’ කියායි.

’’ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වැසි කාලය විසීමට පැමිණි සේක. නන්දිය නම් ශාක්‍ය රජතෙමේද සැවැත් නුවර වැසි කාලය වැසීමට පැමිණියේය. එහි කර්‍මාන්තද අධිෂ්ඨාන කෙළේය. භාග්‍යවතුන් වහන්සේද කලින් කල දක්නට ලැබීය. එකල්හි වනාහි බොහෝවූ භික්‍ෂූහු, ’නිමවන ලද සිවුර ඇති භාග්‍යවතුන් වහන්සේ තුන් මසක් ඇවෑමෙන් සැරිසරා වඩින්නේය’ යි භාග්‍යවතුන් වහන්සේට සිවුරු කටයුතු කරත්. නන්දිය නම් ශාක්‍ය රජතෙම, ’’බොහෝවූ භික්‍ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේට චීවර කර්‍මාන්තය කරත්. නිමවන ලද සිවුර ඇති භාග්‍යවතුන් වහන්සේ තුන් මසක් ඇවෑමෙන් චාරිකාවට වඩින්නේය’’ යි ඇසූයේමය.

ඉක්බිති නන්දිය නම් ශාක්‍ය රජතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකස්කොට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම නන්දිය නම් ශාක්‍ය රජතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ’’ස්වාමීනි, බොහෝවූ භික්‍ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේට චීවර කර්‍මාන්තය කරත්. නිමවන ලද සිවුර ඇති භාග්‍යවතුන් වහන්සේ තුන් මසක් ඇවෑමෙන් චාරිකාවට වඩිනසේකැයි යන මෙය මා විසින් අසන ලදි. ස්වාමීනි, නොයෙක් විහරණවලින් යුක්තව වාසය කරන්නාවූ ඒ අප කවර විහරණයකින් වාසය කටයුතු කටයුතු වන්නේදැ’’ යි ඇසීය.

’’නන්දියය, යහපත. යහපත, නන්දියය. තෙපි තථාගතයන් වෙත පැමිණ, ස්වාමීනි, නොයෙක් විහරණවලින් යුක්තව වාසය කරන්නාවූ ඒ අප කවර විහරණයකින් වාසය කටයුතු කටයුතු වන්නේදැ’’ යි යමක් විචාරන්නාහුද, මෙය වනාහි කුල පුත්‍රවූ තොපට සුදුසු වේ. නන්දියය, ශ්‍රද්‍ධා ඇත්තේ වනාහි සම්පාදනය කරන්නේ වේ. ශ්‍රද්‍ධා නැත්තේ සම්පාදක නොවේ. සිල් ඇත්තේ සම්පාදක වේ. දුශ්ශීල වූයේ සම්පාදක නොවේ. පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ සම්පාදක වේ. කුශීතවූයේ සම්පාදක නොවේ. පැමිණ සිටි සිහි ඇත්තේ සම්පාදක වේ. මුළා සිහි ඇත්තේ සම්පාදක නොවේ. එකඟවූ සිත් ඇත්තේ සම්පාදක වේ. එකඟ නොවු සිත් ඇත්තේ සම්පාදක නොවේ. ප්‍රඥා ඇත්තේ සම්පාදක වේ. දුශ්ප්‍රාඥ වූයේ සම්පාදක නොවේ. නන්දියය, මේ ධර්‍ම සයෙහි පිහිටා තොප විසින් ධර්‍ම පසෙක්හි තමා කෙරෙහි සිහි එළවිය යුත්තීය. නන්දියය, මෙහි නුඹ තථාගතයන් සිහි කරන්නෙහිය. ඒ භාග්‍යවත් තෙම මෙසේද අර්හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, විද්‍යාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, නිරුත්තරවූ පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීය, දෙවි මිනිසුන්ට ශාස්තෘය, බුද්‍ධය, භාග්‍යවත්ය.’ නන්දියය, මෙසේ වනාහි ඔබ විසින් තථාගතයන් අරබයා තමා කෙරෙහි සිහි එළවිය යුත්තීය.

’’නැවත අනිකක්ද කියිම. නන්දියය, ඔබ ධර්‍මය සිහි කරන්නෙහි, ’’ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මයතෙම මනාකොට දේශනා කරණ ලද්දේය. තමා විසින් දැක්ක හැකි විපාක ඇත්තේය. කල් නොයවා ලැබිය හැකි විපාක ඇත්තේය. එව, බලව, යන විධියට සුදුසුය. නිවණට පමුණුවන්නේය. නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දතයුතුය’ (කියායි. ) නන්දියය, මෙසේ වනාහි ඔබ විසින් තථාගතයන් අරබයා තමන් කෙරෙහි සිහි එළවිය යුතුය.

’’නැවත අනිකක්ද කියමි. නන්දියය, ඔබ කල්‍යාණ මිත්‍රයන් සිහි කරන්නෙහිය. යම්බඳුවූ මට අනුකම්පා ඇත්තාවූ වැඩ කැමැත්තාවූ, අවවාද දෙන්නාවූ, අනුශාසනා කරන්නාවූ යහපත් මිත්‍රයෝ වෙද්ද, ඒකාන්තයෙන් මට ලාභයෙකි. ඒකාන්තයෙන් මා විසින් මනාකොට ලබන ලද්දකැයි’ (කියාය.) නන්දියය, මෙසේ වනාහි ඔබ විසින් යහපත් මිත්‍රයන් අරබයා තමන් කෙරෙහි සිහිය එළවිය යුතු වේ.

’’නැවත අනිකක්ද කියමි. නන්දියය, ඔබ තමන්ගේ ත්‍යාග ගුණය සිහි කරන්නෙහිය. ’යම්බඳුවූ මම මසුරු මලින් මඩනා ලද සිත් ඇති ප්‍රජාවෙහි පහව ගියාවූ මසුරු මල ඇති සිතින් යුක්තව, මුදන ලද ත්‍යාග සිත් ඇත්තේ, පවිත්‍රවූ අත් ඇත්තේ, දීමෙහි ඇළුනේ, ඉල්ලීමට සුදුසු වූයේ, දන් බෙදීමෙහි ඇළුනේ, ගිහිගෙයි වාසය කෙරෙම්ද, ඒකාන්තයෙන් එය මට මහත් ලාභයකි. ඒකාන්තයෙන් මා විසින් මනාකොට ලබන ලද්දකැ’ යි (කියාය.) නන්දියය, මෙසේ වනාහි ඔබ විසින් ත්‍යාගය අරබයා තමන් කෙරෙහි සිහිය එළවිය යුතු වේ.

’’නැවත අනිකක්ද කියමි. නන්දියය, ඔබ දේවතාවන් සිහි කරන්නේය. ’යම් ඒ දේවතාවෝ කබලීකාහාර බුදින්නාවූ දෙවියන්ගේ හෙවත් කාමාවචර දෙවියන්ගේ සහභාවය ඉක්මවා මනොමය දේව නිකායට පැමිණියාහු වෙද්ද, ඔවුහු තමාගේ කටයුත්තක් හෝ කරණ ලද්දහුගේ නැවත කිරීමක් හෝ නොදකිත්ද, නන්දියය, යම් සේ අසමය විමුක්තියෙන් මිදුණාවූ, භික්‍ෂුතෙම (-ක්‍ෂීණාශ්‍රව තෙම) තමහට කටයුත්තක් හෝ කරණ ලද්දහුගේ නැවත කිරීමක් හෝ නොදකීද, නන්දියය, එපරිද්දෙන් යම් ඒ දේවතාවෝ කබලීකාහාර බුදින්නාවූ දෙවියන්ගේ හෙවත් කාමාවචර දෙවියන්ගේ සහභාවය ඉක්මවාම එක්තරා මනෝමය දේව නිකායකට පැමිණියාහුද, ඔවුහු තමහට කටයුත්තක් හෝ කරණ ලද්දහුගේ නැවත කිරීමක් හෝ නොදකිත්. ’නන්දියය, මෙසේ වනාහි නුඹ විසින් දේවතාවන් අරබයා තමන් කෙරෙහි සිහිය එළවිය යුතුවේ.

’’නන්දියය, මේ එකොළොස් ධර්‍මයන්ගෙන් යුක්තවූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ලාමකවූ අකුශල ධර්‍මයන් දුරුකෙරේමය. අල්ලා නොගනීමය. නන්දියය, යම් සේ කලය තෙම යටිකුරු කරණ ලද්දේ, ජලය වමාරන්නේද, වැමෑරූ ජලය පසුව නොගන්නේ වේද, නන්දියය, යම්සේ හෝ වියලුණු තණ ලැහැබෙහි ගිනි ඇවිළුණේ, දවමින්ම යේද, දවන ලද්ද පෙරළා හට නොගණීද, නන්දියය, මෙපරිද්දෙන්ම මේ එකොළොස් ධර්‍මයකින් යුක්තවූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ලාමකවූ අකුශල ධර්‍මයන් දුරු කෙරේමය, නැවත නොගනීමයයි වදාළ සේක.