අඞ්ගුත්තරනිකායො

එකාදසක නිපාතය

2. අනුස්සති වර්‍ගය

4. (සුභූති) සද්‍ධාපදාන සූත්‍රය

ඉක්බිති ආයුෂ්මත් සුභූති ස්ථවිර තෙම සද්ධ නම් භික්‍ෂුව සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ආයුෂ්මත් සුභූති ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ’’සුභූතිය, මේ භික්‍ෂු තෙම කිනම්ද?’’ ’’ස්වාමීනි, මේ භික්‍ෂු තෙම සද්ධ නම් වේ. සද්ධ නම් උපාසකයාගේ පුත්‍ර තෙම ශ්‍රද්‍ධාවෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූයේය.’’

’’කිමෙක්ද සුභූතිය, මේ සද්ධ නම් භික්‍ෂු තෙම සද්ධ නම් උපාසකයාගේ පුත්‍රවූයේ, ශ්‍රද්‍ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූයේ ශ්‍රද්‍ධාපදානයන්හි (ශ්‍රද්‍ධාවන්තයන්ගේ ලක්‍ෂණවල) දක්නා ලැබේද,’’ ’’ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රද්‍ධාවන්තයාගේ ලක්‍ෂණ වදාරන්නේය යන යමක් වේද, භාග්‍යවතුන් වහන්ස, එයට මේ සුදුසු කාලය වේ. සුගතයන් වහන්ස, එයට මේ සුදුසු කල වේ. දැන්මම දැනගන්නෙමි. මේ භික්‍ෂුතෙම ශ්‍රද්‍ධා ලක්‍ෂණයන්හි ඉදින් දක්නා ලැබෙයි හෝ නොහොත් දක්නා නොලැබෙයි.’’ කියායි. ’’සුභූතිය, එසේ වී නම් අසව. යහපත්කොට මෙනෙහි කරව. කියන්නෙමි.’’ ’’එසේය පින්වතුන් වහන්සැ’’ යි කියා ආයුෂ්මත් සුභූති ස්ථවිර තෙම, භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’සුභූතිය, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම සිල්වත් වෙයි. ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්තවූයේ වාසය කරයි. ආචාර ගෝචරයෙන් යුක්තවූයේ, ස්වල්පමාත්‍රවූ වැරැදිවල භය දක්නා සුලුවූයේ, ශික්‍ෂා පදයන්හි සමාදන්ව හික්මෙයි. සුභූතිය, භික්‍ෂු තෙම සිල්වත් වෙයි. ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්තවූයේ වාසය කරයි. ආචාර ගෝචරයෙන් යුක්තවූයේ, ස්වල්පමාත්‍රවූ වැරැදිවල භය දක්නා සුලුවූයේ, ශික්‍ෂා පදයන්හි සමාදන්ව හික්මෙයි, යන යමකුත් වේද, සුභූතිය, මෙයද ශ්‍රද්‍ධා ඇත්හුගේ ලක්‍ෂණය වේ.

’’නැවත අනිකක්ද කියමි. සුභූතිය, භික්‍ෂු තෙම ඇසූ දෙය දරන්නේ, ඇසූ දෙය රැස්කිරීම් ඇත්තේ

බහුශ්‍රුත වෙයි. මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අත්‍ර්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්‍ම කෙනෙක් සියල්ලෙන් සම්පූර්‍ණවූ, පිරිසිදුවූ, බ්‍රහ්මවර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙද්ද, එබඳුවූ ධර්‍මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සළකන ලද්දාහු, දෘෂ්ඨියෙන් මනාව ප්‍රතිවේධ කරණ ලද්දාහු වෙත්ද, සුභූතිය, භික්‍ෂු තෙම ඇසූ දෙය දරන්නේ, ඇසූ දෙය රැස්කිරීම් ඇත්තේ බහුශ්‍රුත වෙයි. මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අත්‍ර්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්‍ම කෙනෙක් සියල්ලෙන් සම්පූර්‍ණවූ, පිරිසිදුවූ, බ්‍රහ්මවර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙද්ද, එබඳුවූ ධර්‍මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සළකන ලද්දාහු, දෘෂ්ඨියෙන් මනාව ප්‍රතිවේධ කරණ ලද්දාහු වෙත්ද, බහුශ්‍රුතවූයේ වෙයි. දෘෂ්ඨියෙන් මනාව ප්‍රතිවේධ කරණ ලද්දාහු වෙත් යන යමක් වේද, සුභූතිය, මෙයද ශ්‍රද්‍ධා ඇත්හුගේ ශ්‍රද්‍ධා ලක්‍ෂණය වේ.

’’නැවත අනිකක්ද කියමි. සුභූතිය, භික්‍ෂුතෙම කල්‍යාණ මිත්‍රයන් ඇත්තේ, යහපත් යහළුවන් ඇත්තේ, යහපතට නැමීම ඇත්තේ වෙයි. සුභූතිය, භික්‍ෂුතෙම කල්‍යාණ මිතුරන් ඇත්තේ, සොඳුරු යහළුවන් ඇත්තේ, යහපතට නැමීම ඇත්තේ වෙයි යන යමක් වේද, සුභූතිය, මෙයද ශ්‍රද්‍ධා ඇත්හුගේ ශ්‍රද්‍ධා ලක්‍ෂණය වේ.

’’නැවත අනිකක්ද කියමි. සුභූතිය, භික්‍ෂුතෙම කීකරුවූයේ, සුවච භාවය කරන්නාවූ කරුණුවලින් යුක්තවුයේ, ඉවසන්නේ, අනුශාසනාව පැදකුණු කිරීමෙන් ගන්නේ වෙයි. සුභූතිය, භික්‍ෂුතෙම කීකරුවූයේ, සුවච බැව් කරණ කරුණුවලින් යුක්තවූයේ, ඉවසන්නේ, අනුශාසනය පැදකුණු කිරීමෙන් ගන්නේ වෙයි යන යමකුත් වේද, සුභූතිය, මෙයද ශ්‍රද්‍ධා ඇත්තහුගේ ශ්‍රද්‍ධා ලක්‍ෂණය වේ.

’’ නැවත අනිකක්ද කියමි. සුභූතිය, භික්‍ෂුතෙම සබ්‍රම්සරුන්ගේ පිළිවිස කටයුතුවූ යම් මේ කුදු මහත් කටයුතු වෙද්ද? එහි දක්‍ෂවූයේ, අලස නොවූයේ, එහි උපායෙන් විමසීමෙන් යුක්තවුයේ, කරන්ට සමත්‍ර්‍ථවේ. සංවිධාන කරන්ට සමත්‍ර්‍ථ වේ. සුභූතිය, භික්‍ෂු තෙම සබ්‍රම්සරුන්ගේ පිළිවිස කටයුතු යම් මේ කුදු මහත් කටයුතු ඇද්ද එහි දක්‍ෂවූයේ වෙයි. අලස නොවූයේ, එහි උපාය නුවණින් යුක්තවුයේ, කරන්ට, සංවිධාන කරන්ට සමත්‍ර්‍ථ වෙයි යන යමකුත් ඇද්ද, සුභූතිය, මෙයද ශ්‍රද්‍ධා ඇත්තහුගේ ශ්‍රද්‍ධා ලක්‍ෂණය වේ.

’’නැවත අනිකක්ද කියමි. සුභූතිය, භික්‍ෂුතෙම ධර්‍මය කැමැත්තේ වෙයි. ප්‍රියවූ වචන ඇත්තේ, අභිධර්‍මයෙහි, අභිවිනයෙහි මහත්වු ප්‍රමුදිත භාවය ඇත්තේවෙයි. සුභූතිය, භික්‍ෂුතෙම ධර්‍මය කැමැත්තේ ප්‍රියවූ වාක් ව්‍යවහාර ඇත්තේ, අභිධමයෙහි, අභිවිනයෙහි මහත්වූ ප්‍රමොද්‍ය ඇත්තේ වෙයි යන යමකුත් ඇද්ද, සුභූතිය, මෙයද ශ්‍රද්‍ධා ඇත්හුගේ ශ්‍රද්‍ධා ලක්‍ෂණය වේ.

’’නැවත අනිකක් කියමි. සුභූතිය, භික්‍ෂුතෙම අකුශල ධර්‍මයන්ගේ දුරුකිරීමටද, කුශල ධර්‍මයන්ගේ රැස් කිරීමටද, ශක්තිමත්වූයේ, දැඩි වීර්‍ය්‍ය ඇත්තේ, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ, කුශල ධර්‍මයන්හි බහා නොතබන ලද බර ඇත්තේ වාසය කරයි. සුභූතිය, භික්‍ෂුතෙම අකුශල ධර්මයන්ගේ දුරු කිරීමටද, කුශල ධර්මයන්ගේ රැස්කිරීමටද, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ ශක්තිමත්වූයේදැයි උත්සාහ ඇත්තේ, කුශල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇත්තේ වාසය කරයි යන යමකුත් වේද, සුභූතිය, මෙයද ශ්‍රද්‍ධා ඇත්තහුගේ ශ්‍රද්‍ධා ලක්‍ෂණය වේ.

’’තවද, අනිකක් කියමි. සුභූතිය, භික්‍ෂුතෙම සිතින් නිපදවන ලද්දාවූ ඉහාත්මයෙහි සැප විහරණ ඇත්තාවූ සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන්නේ, නිදුකින් ලබන්නේ, පහසුවෙන් ලබන්නේ වෙයි. සුභූතිය, භික්‍ෂුතෙම සිතින් නිපදවන ලද්දාවූ, ඉහාත්මයෙහි සැප විහරණ ඇත්තාවූ, සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන්නේ, නිදුකින් ලබන්නේ, පහසුවෙන් ලබන්නේ වෙයි යන යමකුත් වේද, සුභූතිය, මෙයද ශ්‍රද්‍ධා ඇත්හුගේ ශ්‍රද්‍ධා ලක්‍ෂණය වේ. තවද අනිකක් කියමි. සුභූතිය, භික්‍ෂු තෙම නොයෙක් ආකාරවූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරයි. ’එනම් එක ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්‍ෂයක්ද, නොයෙක් සංවර්‍ත කල්පයන්ද, නොයෙක් විවර්‍ත කල්පයන්ද, නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයන්ද, අසවල් තැන්හි මෙනම් ඇත්තෙක්, මෙබඳු ගොත්‍ර ඇත්තෙක්, මෙබඳු වර්‍ණ ඇත්තෙක්, මෙබඳු ආහාරය ඇත්තෙක්, මෙබඳු සුව දුක් විඳින්නෙක්, මෙබඳු ආයුෂය කෙළවරකොට ඇත්තෙක් වීමි, ඒ මම එයින් චුතවූයේ, අසවල් තැන්හි ඉපදුනෙමි. එහිද, මෙබඳු නම් ඇත්තෙක්, මෙබඳු ගොත්‍ර ඇත්තෙක්, මෙබඳු වර්‍ණ ඇත්තෙක්, මෙබඳු ආහාරය ඇත්තෙක්, මෙබඳු සුව දුක් විඳින්නෙක්, මෙබඳු ආයුෂය කෙළවරකොට ඇත්තෙක් වීමි, ඒ මම එයින් චුතවූයේ, මෙහි උපන්නේ වෙමි’ යි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, අනෙක ප්‍රකාරවූ, පෙර විසූ කඳ පෙර විසූ කඳ පිළිවෙළ සිහිකරයි. සුභූතිය, භික්‍ෂුතෙම අනෙක ප්‍රකාරවූ, පෙර විසූ කඳ පිලිවෙළ සිහි කරයි. එනම්, එක ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්‍ෂයක්ද, නොයෙක් සංවර්‍ත කල්පයන්ද, නොයෙක් විවර්‍ත කල්පයන්ද, නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයන්ද, අසවල් තැන්හි මෙනම් ඇත්තෙක්, මෙබඳු ගොත්‍ර ඇත්තෙක්, මෙබඳු වර්‍ණ ඇත්තෙක්, මෙබඳු ආහාරය ඇත්තෙක්, මෙබඳු සුව දුක් විඳින්නෙක්, මෙබඳු ආයුෂය කෙළවරකොට ඇත්තෙක් වීමි, ඒ මම එයින් චුතවූයේ, අසවල් තැනිහි ඉපදුනෙමි. එහිද, මෙබඳු නම් ඇත්තෙක්, මෙබඳු ගොත්‍ර ඇත්තෙක්, මෙබඳු වර්‍ණ ඇත්තෙක්, මෙබඳු ආහාරය ඇත්තෙක්, මෙබඳු සුව දුක් විඳින්නෙක්, මෙබඳු ආයුෂය කෙළවරකොට ඇත්තෙක් වීමි, ඒ මම එයින් චුතවූයේ, මෙහි උපන්නේ වෙමි’ යි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, අනෙක ප්‍රකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි යන යමකුත් වේද, සුභූතිය, මෙයද ශ්‍රද්‍ධා ඇත්හුගේ ශ්‍රද්‍ධා ලක්‍ෂණය වේ.

’’තවද, අනිකක් කියමි. සුභූතිය, භික්‍ෂු තෙම පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් චුතවනු ලබන්නාවූද, උපදිනු ලබන්නාවුද සත්ත්‍වයන් බලයි. හීන වූද, ප්‍රණීත වූද, යහපත් වර්‍ණ ඇත්තාවූද, අයහපත් වර්‍ණ ඇත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කම්වූ පරිද්දෙන් මිය ගියාවූ සත්ත්‍වයන් දැන ගනියි. පින්වත්නි, ඒකාන්තයෙන් මේ සත්ත්‍වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවුවාහුය. වචී දුශ්චරිතයෙන් යුක්තවුවාහුය. මනො දුශ්චරිතයෙන් යුක්තවුවාහුය. ආර්‍ය්‍යයන්ට උපවාද කියන්නාහුය. මිත්‍ථ්‍යාදෘෂ්ටි ඇත්තාහුය. මිත්‍ථ්‍යාදෘෂ්ටීන්ගේ කර්‍ම සමාදන්වූවාහුය. ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු, සැප නැත්තාවූ, දුකට පිහිටවූ, නපුරුසේ ඇද වැටෙන්නාවූ, නරකයෙහි උපන්නාහුය. පින්වත්නි, මේ සත්ත්‍වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්තවූවාහුය. වාක් සුචරිතයෙන් යුක්තවූවාහුය. මනො සුචරිතයෙන් යුක්තවූවාහුය. ආර්‍ය්‍යයන්ට උපවාද නොකියන්නාහුය. සම්‍යක් දෘෂ්ටි ඇත්තාහුය. සම්‍යක් දෘෂ්ටීන්ගේ කර්‍ම සමාදන් වූවාහුය. ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතුයහපත් ගති ඇත්තාවූ ස්වර්‍ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ දිව්‍යවූ ඇසින් චුතවන්නාවූද, උපදින්නාවූද සත්ත්‍වයන් බලයි. ලාමකවූද, උතුම්වූද, යහපත් වර්‍ණ ඇත්තාවූද, අයහපත් වර්‍ණ ඇත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවුද, කම්වූ පරිද්දෙන් පරලොව ගියාවූ සත්ත්‍වයන් දැනගණියි. සුභූතිය, භික්‍ෂු තෙම පිරිසිදුවූ, දිව්‍යවූ ඇසින් චුතවන්නාවූද, උපදින්නාවූද සත්ත්‍වයන් බලයි. ලාමකවූද, උතුම්වූද, යහපත් වර්‍ණ ඇත්තාවූද, අයහපත් වර්‍ණ ඇත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවුද, කම්වූ පරිද්දෙන් පරලොව ගියාවූ සත්ත්‍වයන් දැනගණියි යන යමකුත් වේද, සුභූතිය, මෙයද ශ්‍රද්‍ධා ඇත්හුගේ ශ්‍රද්‍ධා ලක්‍ෂණය වේ.

’’තවද අනිකක් කියමි. සුභූතිය, භික්‍ෂුතෙම ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව නැත්තාවූ අර්‍හත්ඵල සමාධියටද, අර්‍හත්ඵල ප්‍රඥාවටද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයි. සුභූතිය, භික්‍ෂු තෙම ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව නැත්තාවූ අර්‍හත්ඵල සමාධියටද, අර්‍හත්ඵල ප්‍රඥාවටද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කෙරෙයි යන යමකුත් වේද, සුභූතිය, මෙයද ශ්‍රද්‍ධා ඇත්හුගේ ශ්‍රද්‍ධා ලක්‍ෂණය වේ.

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සුභූති ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ ශ්‍රද්‍ධා ඇත්තහුගේ ශ්‍රද්‍ධා ලක්‍ෂණයෝ වදාරණ ලද්දාහුද, ඒ ලක්‍ෂණ මේ භික්‍ෂූහුගේ පවතිත්. මේ භික්‍ෂු තෙමේද, මේ ලක්‍ෂණයන්හි දක්නා ලැබේ. ස්වාමීනි, මේ භික්‍ෂුතෙම සිල්වත් වේ. ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්තවූයේ, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තවූයේ, ස්වල්ප තරම්වූ වරදවල පවා බිය දක්නා සුළුවූයේ වාසය කරයි. ශික්‍ෂාපදයන්හි සමාදන්ව හික්මෙයි. ස්වාමීනි, මේ භික්‍ෂුතෙම බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ, ඇසූ දෙය දරන්නේ, ඇසූ දෙය රැස්කිරීම ඇත්තේ වෙයි. මුල යහපත්වූද, මැද යහපත්වූද, කෙළවර යහපත්වූද, යම් මේ ධර්මයෝ, අත්‍ර්‍ථ සහිතවූවාහු, ව්‍යංජන සහිතවූවාහු, සියල්ලෙන් සම්පූර්‍ණවූ, පිරිසිදුවූ, බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙද්ද, එබඳුවූ ධර්‍මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙහන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සලකන ලද්දාහු, දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද්දාහු වෙත්. ස්වාමීනි, මේ භික්‍ෂුතෙම කළණ මිතුරන් ඇත්තේ, සොඳුරු යහළුවන් ඇත්තේ, යහපතට නැමීම ඇත්තේ වෙයි. ස්වාමීනි, මේ භික්‍ෂුතෙම කීකරුවූයේ, සුවච භාවය ඇතිකරන්නාවූ කරුණුවලින් යුක්තවූයේ, ඉවසීම ඇත්තේ, අනුශාසනාව පැදකුණු කිරීම් වශයෙන් ගන්නා ස්වභාව ඇත්තේ වේ. ස්වාමීනි, මේ භික්‍ෂුතෙම සබ්‍රම්සරුන්ගේ යම් ඒ කුදු මහත්වූ පිළිවිස කටයුතු දෑ වෙද්ද, එහි දක්‍ෂවූයේ, අලස නොවූයේ වෙයි. එහි උපායවූ විමසීමෙන් යුක්තවූයේ, කරන්ට සුදුසුවූයේ, සංවිධාන කරන්ට සුදුසුවූයේ වෙයි. ස්වාමීනි, මේ භික්‍ෂුතෙම දහම් කැමැත්තේ, ප්‍රියවූ වාක් ව්‍යවහාර ඇත්තේ, අභිධර්මයෙහි, අභිවිනයෙහි මහත්වූ ප්‍රමෝද්‍ය ඇත්තේ වෙයිද, ස්වාමීනි, මේ භික්‍ෂුතෙම පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ, ශක්තිමත්වූයේ, දෘඨ වීර්‍ය්‍ය ඇත්තේ, කුශල ධර්‍මයන්හි බහා නොතබන ලද බර ඇත්තේ, වාසය කරයි. ස්වාමීනි, මේ භික්‍ෂුතෙම සිතින් නිපදවන ලද්දාවූ මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ, සතර ධ්‍යානයන් කැමැතිසේ ලබන්නේ, නිදුකින් ලබන්නේ, පහසුවෙන් ලබන්නේ වෙයි.

’’ස්වාමීනි, මේ භික්‍ෂු තෙම අනෙක ප්‍රකාරවූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරයි. ’එනම් එක ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්‍ෂයක්ද, නොයෙක් සංවර්‍ත කල්පයන්ද, නොයෙක් විවර්‍ත කල්පයන්ද, නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයන්ද, අසවල් තැන්හි මෙනම් ඇත්තෙක්, මෙබඳු ගොත්‍ර ඇත්තෙක්, මෙබඳු වර්‍ණ ඇත්තෙක්, මෙබඳු ආහාරය ඇත්තෙක්, මෙබඳු සුව දුක් විඳින්නෙක්, මෙබඳු ආයුෂය කෙළවරකොට ඇත්තෙක් වීමි, ඒ මම එයින් චුතවූයේ, අසවල් තැන්හි ඉපදුනෙමි. එහිද, මෙබඳු නම් ඇත්තෙක්, මෙබඳු ගොත්‍ර ඇත්තෙක්, මෙබඳු වර්‍ණ ඇත්තෙක්, මෙබඳු ආහාරය ඇත්තෙක්, මෙබඳු සුව දුක් විඳින්නෙක්, මෙබඳු ආයුෂය කෙළවරකොට ඇත්තෙක් වීමි, ඒ මම එයින් චුතවූයේ, මෙහි උපන්නේ වෙයි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, අනෙක ප්‍රකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහිකරයි. ස්වාමීනි, මේ භික්‍ෂුතෙම පිරිසිදුවු මිනිසැස ඉක්ම පවත්නාවූ, දිව්‍යවු ඇසින් චුතවන්නාවූද, උපදින්නාවූද සත්ත්‍වයන් බලයි. ලාමකවූද, උතුම්වූද, යහපත් වර්‍ණ ඇත්තාවූද, අයහපත් වර්‍ණ ඇත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවුද, කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාවූ සත්ත්‍වයන් දැනගණියි. ස්වාමීනි, මේ භික්‍ෂුතෙම ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව නැත්තාවූ අර්‍හත්ඵල සමාධියටද, අර්‍හත්ඵල ප්‍රඥාවටද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයි. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ ශ්‍රද්‍ධා ඇත්හුගේ ශ්‍රද්‍ධා ලක්‍ෂණ කෙනෙක් වදාරණ ලද්දාහුද, ඒ ලක්‍ෂණ මේ භික්‍ෂුගේ පවතිත්. මේ භික්‍ෂු තෙමේද මෙකී ලක්‍ෂණයන්හි දක්නා ලැබේය’’ යි කීයේය.

’’සුභූතිය, යහපත. යහපත, සුභූතිය. එසේ වී නම් නුඹ මේ සද්ධ නම් භික්‍ෂුව සමග වාසය කරන්නෙහිය. සුභූතිය, යම් කලෙකත් නුඹ තථාගතයන් දැකීමට කැමැතිවන්නෙහි නම් මේ සද්ධ නම් භික්‍ෂුව සමගම තථාගතයන් දැකීමට එළඹෙන්නෙහිවා’’ යි වදාළ සේක.