අංගුත්තර නිකාය
එක නිපාතය
2. රථකාර වර්ගය
12. යාවජීව සරණීය සූත්‍රය
“මහණෙනි, ඔටුණු පැළැන්දුවාවූ ක්ෂත්‍රිය රජ විසින් ජීවිතාන්තය දක්වා සිහිකළ යුතු කරුණු තුනක් වෙත්. කවර තුනක්ද?
“ඔටුණු පලන් ක්ෂත්‍රිය රජතෙමේ යම් පෙදෙසක උපන්නේ වේද, මහණෙනි, මේ ඔටුණු පලන් ක්ෂත්‍රිය රජ විසින් ජීවිතාන්තය දක්වා සිහි කළයුතු පළමුවැනි කාරණය වෙයි. නැවතද ඔටුණු පළන් ක්ෂත්‍රිය රජ තෙමේ යම් පෙදෙසක ඔටුණු පැලැන්දේ වෙයිද, මහණෙනි, මේ ඔටුණු පළන් ක්ෂත්‍රිය රජ විසින් ජීවිතාන්තය දක්වා සිහි කළයුතු දෙවැනි කාරණය වෙයි මහණෙනි, නැවතද ඔටුණු පළන් ක්ෂත්‍රිය රජ තෙමේ යුද්ධයකින් ජයගෙන දිනන ලද යුද්ධ ඇත්තේ ඒ යුද්ධභූමියට අධිපතිව වාසය කරයිද, මහණෙනි, මේ ඔටුණු පලන් ක්ෂත්‍රිය රජ විසින් ජීවිතාන්තය දක්වා සිහි කළ යුතු තුන්වැනි කාරණය වෙයි මහණෙනි, මේ වනාහි ඔටුණු පලන් ක්ෂත්‍රිය රජ විසින් ජීවිතාන්තය දක්වා සිහි කළයුතු කරුණු තුන වෙත්.
“මහණෙනි, එසේම භික්ෂුව විසින් ජීවිතාන්තය දක්වා සිහි කළයුතු මේ කරුණු තුනක් වෙත්. කවර තුනක්ද යත්, මහණෙනි, භික්ෂු තෙමේ යම් පෙදෙසක හිස රැවුල් කපා කසාවත් හැඳ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවූයේද මහණෙනි, මේ භික්ෂුව විසින් ජීවිතාන්තය දක්වා සිහිකළයුතු පළමුවැනි කාරණය වෙයි නැවතද, මහණෙනි, භික්ෂු තෙමේ යම් පෙදෙසක මෙය දුකයයි තත්වාකාරයෙන් දැනගනියිද, මෙය දුකට හෙතුවයයි තත්වාකාරයෙන් දැනගනියිද, මෙය දුක් නැතිකිරීම යයි තත්වාකාරයෙන් දැනගනීද, මෙය දුක් නැතිකිරීමේ මාර්ගයයි තත්වාකාරයෙන් දැනගනීද, මහණෙනි, මේ භික්ෂුව විසින් ජීවිතාන්තය දක්වා සිහිකළයුතු දෙවැනි කාරණය වෙයි. නැවතද මහණෙනි, භික්ෂු තෙමේ යම් පෙදෙසක ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිත අර්හත් ඵල සමාධියත් අර්හත්ඵල ප්‍රඥාවත් තෙමේම විශෙෂඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට අවබොධ කොට වාසය කරයිද, මහණෙනි, මේ භික්ෂුව විසින් ජීවිතාන්තය දක්වා සිහි කළයුතු තුන්වැනි කාරණය වෙයි. මහණෙනි, මේ භික්ෂුව විසින් ජීවිතාන්තය දක්වා සිහිකටයුතු කරුණු තුනවෙත්”