අංගුත්තර නිකාය
එක නිපාතය
13. භාරංඩු (හෝ) කුසිනාරා වර්ගය
124. භණ්ඩන ජාත සූත්‍රය
“මහණෙනි, යම් දිශාවෙක භික්ෂූහු හටගත් ඩබර ඇතිව හටගත් කලහ ඇතිව විවාදයට පැමිණ ඔවුනොවුන් මුඛ නමැති ආයුධවලින් ඇන කොටා ගනිමින් වාසය කරද්ද, මහණෙනි, මා විසින් ඒ දිසාව මෙනෙහි කිරීමටවත් පහසු නොවේ. යාම ගැන කියනුම කිම? මෙහිදී ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු ධර්ම තුනක් අත්හළහ. ධර්ම තුනක් බහුල කළාහුයයි නිශ්චයට පැමිණෙමි.
“කිනම් ධර්ම තුනක් අත්හැරියාහුද? නෛෂ්ක්‍රම්‍ය විතර්කය අව්‍යපාද විතර්කය අවිහිංසා විතර්කය යන මේ ධර්ම තුන අත්හළහ. කවර ධර්ම තුනක් බහුල කළාහුද? කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය යන මේ ධර්ම තුන බහුල කළාහුය.
(මේ ඡෙදය මේ සූත්‍රයේ 1 ඡෙදය මෙනි.)
“මහණෙනි, යම් දිශාවෙක භික්ෂූහු සමගිව සතුටු වෙමින් වාද නොකරමින් කිරිත් වතුරත් මෙන් එක්ව ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වාසය කරද්ද මහණෙනි, මා විසින් ඒ දිශාවට යාමටද පහසුවෙයි. මෙනෙහි කිරීම ගැන කියනුම කිම? ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු මේ ධර්ම තුන අත්හළහ. මේ ධර්ම තුන බහුල කළහයි නිශ්චයට පැමිණෙමි.
“කවර ධර්ම තුනක් අත්හළහුද? කාම විතර්කයද? ව්‍යාපාද විතර්කයද, විහිංසා විතර්කයද යන මේ ධර්ම තුන දුරු කළහ. කවර ධර්ම තුනක් බහුල කළාහුද? නෛෂ්ක්‍රම්‍ය විතර්කයද, අව්‍යාපාද විතර්කයද, විහිංසා විතර්කයද යන මේ ධර්ම තුන බහුල කළහ.