අංගුත්තර නිකාය

එක නිපාතය

3. පුග්ගල වර්ගය

25. අරුකූපම සූත්‍රය

“මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනෙක් ලෝකයෙහි ඇත්තාහු විද්‍යමාන වන්නාහු වෙත්. කවර තුන්දෙනෙක්ද යත්, පරණ වනයක බඳු සිත් ඇති පුද්ගලයාද විදුලිඑළියකට බඳු සිත් ඇති පුද්ගලයාද, වජ්‍රයකට (දියමන්තියකට) බඳු සිත් ඇති පුද්ගලයාද වෙත්.

“මහණෙනි, පරණ වණයක බඳු පුද්ගලයා නම් කවරෙක්ද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ක්‍රොධකරන්නේ වේද, ක්‍රොධය බහුලකොට ඇත්තේ වේද ස්වල්පදෙයක් කියන ලද නමුත් ගැටෙන්නේද කිපේද, ප්‍රකෘතිය අත්හරීද, තද බවට පැමිණේද, කෝපයත්, ද්වෙෂයත්, නොසතුටු බවත් පහළ කෙරේද, යම්සේ වනාහි පුරාණ වණයක් දඬු කොණකින් හෝ කැබිලිත්තකින් හෝ ගටනා ලද්දී බෙහෙවින්ම ලේ වගුරුවාද, මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ක්‍රොධ කරණ ස්වභාව ඇත්තේද ස්වල්පයක් කියන ලද්දේම එහි ලැගේද කිපේද, ස්වභාවය අත්හරීද, තද බවට පැමිණේද, කොපයද ද්වෙෂයද නොසතුටු ආකාරයද පහළ කෙරේද, මහණෙනි, මේ පුරාණ වණයකට බඳු සිත් ඇති පුද්ගලයායයි කියනු ලැබේ.

“මහණෙනි, විදුලියකට බඳු සිත් ඇති පුද්ගලයා කවරේද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් ඉපදීමට හේතුව යයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් වැලකීමයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් වැලැක්මට යන ප්‍රතිපදාවයයි තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, යම්සේ වනාහි ඇස් ඇත්තාවූ පුරුෂයෙක් තෙම ඝනාන්ධකාර රාත්‍රියෙක්හි විදුලි එළියෙන් රූපයන් දක්නේ වේද මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් නිරොධයට ප්‍රතිපදාවයයි තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, මේ විදුලියකට සමාන සිත් ඇත්තාවූ පුද්ගලයායයි කියනු ලැබේ.

“මහණෙනි, දියමන්තියකට බඳු සිත් ඇති පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ආශ්‍රවයන්ගේ ක්ෂයවීමෙන් ආශ්‍රව රහිත අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කරයිද, මහණෙනි, වජ්‍රයට බිඳිය නොහැකිවූ කිසි මිණක් හෝ ගලක් හෝ නැත්තේ වේද, මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කෙලෙසුන්ගේ ක්ෂයවීමෙන් ආශ්‍රව රහිත අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද මේ ආත්මභාවයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ දියමන්තියකට බඳු සිත් ඇති පුද්ගලයායයි කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයන් තුන්දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වන්නාහු වෙත්.

“එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ආශ්‍රවයන්ගේ ක්ෂයවීමෙන් ආශ්‍රව රහිත අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කරයිද, මේ දියමන්තියකට සමාන සිත් ඇත්තාවූ පුද්ගලයායයි කියනු ලැබේ.”