අංගුත්තර නිකාය

එක නිපාතය

3. පුග්ගල වර්ගය

30. අවකුජ්ජපඤ්ඤ සූත්‍රය

“මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලොකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර තුන්දෙනෙක්ද යත්, යටට නැමුණු නුවණ ඇති පුද්ගලයාය, ඔඩොක්කුවට සමාන නුවණ ඇති පුද්ගලයාය, පැතුරුනාවූ නුවණ ඇති පුද්ගලයාය යන තුන්දෙනයි.

“මහණෙනි, යටට නැමුණු ප්‍රඥා ඇති පුද්ගලයා කවරේද? මහණෙනි මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර භික්ෂූන්ගේ සමීපයෙහි ධර්මශ්‍රවණය පිණිස ආරාමයට යන්නේ වෙයි, ඔහුට භික්ෂූහු මුල යහපත්වූද, මැද යහපත්වූද අවසන යහපත්වූද ධර්මය අර්ථ සහිතවූ අක්ෂර ව්‍යඤ්ජන සහිතවූ සියල්ලෙන් සම්පූර්ණවූ බ්‍රහ්මචර්‍ය්‍යාව දේශනා කෙරෙද්ද, හෙතෙම ඒ ආසනයෙහි හුන්නේ ඒ කථාවෙහි මුල මෙනෙහි නොකෙරේද, මැද මෙනෙහි නොකෙරේද, අවසානය මෙනෙහි නොකෙරේද, ධර්මය අර්ථ සහිතවූ අක්ෂර ව්‍යඤ්ජන සහිතවූ සියල්ලෙන් සම්පූර්ණවූ බ්‍රහ්මචර්‍ය්‍යාව මෙනෙහි නොකෙරේද, අස්නෙන් නැගිට සිටියේද.

“මහණෙනි, යම්සේ වනාහි යටිකුරුකොට තැබූ කලයක් වේද එහි වත්කරන ලද්දාවූ ජලය ඉවත වැටෙයිද, රඳා නොසිටීද මහණෙනි, එසේම මේ ලොකයෙහි ඇතැම් පුදගලයෙක් (මෙහි මේ සූත්‍රයේ 2 ඡෙදය ‘නිතර’ යන වචනයේ සිට යොදාගත යුතුයි.) මහණෙනි, මේ යටිකුරුවූ නුවණ ඇති පුද්ගලයායයි කියනු ලැබේ

“මහණෙනි, ඔඩොක්කුවට බඳු නුවණ ඇති පුද්ගලයා කවරේද, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් (මෙහි මේ සූත්‍රයේ 2 ඡෙදය ‘නිතර’ යන වචනයේ සිට යොදාගතයුතුයි.) හෙතෙම ඒ අස්නෙහි හුන්නේ ඒ කථාවෙහි මුල මැද අග මෙනෙහි කරයි. ඒ අස්නෙන් නැගිට්ටේ මෙනෙහි නොකරයි

“මහණෙනි, යම්සේ පුරුෂයාගේ ඔඩොක්කුවෙහි තල සහල්, අක්සුණු, ඩෙබර, යන නොයෙක් කැවිලි දාගන්නාහු වෙත්ද, හෙතෙම ඒ ආසනයෙන් සිහිමුළාවෙන් නැගිට්ටේ සිහි මුළාවෙන් ඒ ඛාද්‍යාදිය විසිරෙන්නේය. මහණෙනි, එසේම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක්- (මෙහි මේ සූත්‍රයේ 2 ඡෙදය ‘නිතර’ යන වචනයේ සිට යොදාගත යුතුයි.) මහණෙනි, මේ ඔඩොක්කුවට බඳු ප්‍රඥා ඇත්තාවූ පුද්ගලයායි.

“මහණෙනි, පැතුරුණාවූ ප්‍රඥා ඇති පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක්- (මෙහි මේ සූත්‍රයේ 2 වෙනි ඡෙදය ‘නිතර’ යන වචනයේ සිට යොදාගත යුතුයි)

“මහණෙනි, යම්සේ කලයක් මුව උඩුකුරුකොට තබනලද්දේ, එහි වත්කරණ ලද ජලය රැඳීසිටීද නොවැගිරේද, මහණෙනි, එසේම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර භික්ෂූන්ගේ සමීපයෙහි ධර්මශ්‍රවණය පිණිස ආරාමයට යන්නේ වෙයි. ඔහුට භික්ෂූහු මුල යහපත්වූද, මැද යහපත්වූද අවසානය යහපත්වූද ධර්මය අර්ථ සහිතවූ අක්ෂර ව්‍යඤ්ජන සහිතවූ සියල්ලෙන් සම්පූර්ණවූ බ්‍රහ්මචර්‍ය්‍යාව දේශනා කෙරෙද්ද හෙතෙම ඒ ආසනයෙහි හුන්නේ ඒ කථාවෙහි මුල මෙනෙහි කෙරේද, මැද මෙනෙහි කෙරේද, අවසානය මෙනෙහි කෙරේද ධර්මය අර්ථ සහිතවූ අක්ෂර ව්‍යඤ්ජන සහිතවූ සියල්ලෙන් සම්පූර්ණවූ බ්‍රහ්මචර්‍ය්‍යාව මෙනෙහි කෙරේද, මහණෙනි, මේ පැතුරුණාවූ ප්‍රඥා ඇති පුද්ගලයායි කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයන් තුන්දෙන ලොකයෙහි ඇත්තාහ, විද්‍යමාන වෙත්.

(1) “නුවණ නැත්තාවූ විචක්ෂණ නොවූ යටිකුරු කළ ප්‍රඥා ඇත්තාවූ පුරුෂතෙම ඉදින් නිතරද භික්ෂූන් වෙත යන්නේ වේද.

(2) “එබඳුවූ පුරුෂතෙම ධර්ම කථාවෙහි මුලද, මැදද, අගද ඉගෙනීමට නොහැකිවේ. ඔහුට නුවණ නැත.

(3) “ඇකයට (ඔඩොක්කුවට) සමාන ප්‍රඥාව ඇත්තාවූ පුරුෂතෙම මොහුට වඩා (යටිකුරු ප්‍රඥාව ඇත්තහුට වඩා) උතුම්යයි කියනු ලැබේ. ඉදින් භික්ෂූන් වෙත නිරතුරුද යන්නේ වේද.

(4) “එබඳුවූ පුරුෂතෙම ධර්ම කථාවෙහි මුලද මැදද අගද එම අස්නෙහි හුන්නේ ඉගෙන (එම අස්නෙන්) නැඟී සිටියේ නොදනී. ඔහු විසින් ඉගෙණ ගන්නා ලද්දද වැනසේ.

(5) “පැතුරුණු ප්‍රඥාව ඇති පුරුෂතෙම මොවුන් දෙදෙනාට වඩා ශ්‍රෙෂ්ඨයයි කියනු ලැබේ. ඉදින් භික්ෂූන් වෙත යන්නේ වේද.

(6) (7) “එබඳුවූ පුරුෂතෙම ඒ ආසනයෙහි සිට ඒ බණෙහි මුලද මැදද අගද උගෙණ දරයි. උතුම් අදහස් ඇත්තාවූ සැක නොකළයුතු සිත් ඇත්තාවූ මනුෂ්‍යතෙම ධර්මානුධර්ම ප්‍රතිපන්නවූයේ, දුක් කෙළවර කරන්නෙක් වන්නේය.”

(තුන්වැනි පුද්ගල වර්ගයයි)