අංගුත්තර නිකාය

එක නිපාතය

6. බ්‍රාහ්මණ වර්ගය

54. පරිබ්බාජක සන්දිඨික සූත්‍රය

ඉක්බිති එක්තරා බ්‍රාහ්මණ පරිබ්‍රාජකයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්වහන්සේ සමග සතුටු විය. සිහිකටයුතුවූ කථාව කොට එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට

(මේ ඡෙද මේ වර්ගයේ 3. සූත්‍රයේ 1 වෙනි ඡෙදයේ 2 කොටස හා 2, 3, ඡෙද මෙන් වෙත්.)

“බමුණ රාගයෙන් මඬනාලද්දේ රාගයෙන් විනාශ කරණ ලද සිත් ඇත්තේ කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. සිතින් දුසිරිතෙහි හැසිරෙයි. රාගය ප්‍රහීණවූ කල්හි කයින් දුශ්චරිතයෙහි නොහැසිරෙයි. වචනයෙන් දුශ්චරිතයෙහි නොහැසිරෙයි. සිතින් දුශ්චරිතයෙහි නොහැසිරෙයි. බමුණ, රාගයෙන් මඬනාලද්දේ රාගයෙන් විනාශ කරණ ලද්දේ ආත්මාර්ථයද තත්වූපරිද්දෙන් නොදනී. පරාර්ථයද තත්වූපරිද්දෙන් නොදනී. ආත්මාර්ථ පරාර්ථ දෙකද තත්වූ පරිද්දෙන් නොදනී. රාගය නැති කල්හි ආත්මාර්ථයද තත්වූ පරිද්දෙන් දනී. පරාර්ථයද තත්වූ පරිද්දෙන් දනී. ආත්මාර්ථ පරාර්ථ දෙකද තත්වූ පරිද්දෙන් දනී.

“බමුණ, මෙසේ වනාහී ධර්මය ප්‍රත්‍යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන ඵල ඇත්තේවේ. එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් සිත්හි පමුණුවා ගතයුතු ගුණ ඇත්තේය.

“බමුණ, ද්වෙෂයෙන් මඬනාලද්දේ ද්වෙෂයෙන් විනාශ කරණ ලද සිත් ඇත්තේ කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. සිතින් දුසිරිතෙහි හැසිරෙයි. ද්වෙෂය ප්‍රහීණවූ කල්හි කයින් දුශ්චරිතයෙහි නොහැසිරෙයි. වචනයෙන් දුශ්චරිතයෙහි නොහැසිරෙයි. සිතින් දුශ්චරිතයෙහි නොහැසිරෙයි. බමුණ, ද්වෙෂයෙන් මඬනාලද්දේ ද්වෙෂයෙන් විනාශ කරණ ලද්දේ ආත්මාර්ථයද තත්වූ පරිද්දෙන් නොදනී. පරාර්ථයද තත්වූ පරිද්දෙන් නොදනී. ආත්මාර්ථ පරාර්ථ දෙකද තත්වූ පරිද්දෙන් නොදනී. ද්වෙෂය නැති කල්හි ආත්මාර්ථයද තත්වූ පරිද්දෙන් දනී. පරාර්ථයද තත්වූ පරිද්දෙන් දනී. ආත්මාර්ථ පරාර්ථ දෙකද තත්වූ පරිද්දෙන් දනී.

(මේ ඡෙදය මේ සූත්‍රයේ 5 ඡෙදය මෙනි)

බමුණ, මොහයෙන් මඬනාලද්දේ මෝහයෙන් විනාශ කරණ ලද සිත් ඇත්තේ තමන්ට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. තමහට හා අනුන්ට දුක් පිණිසද සිතයි. මානසික දුකද දොම්නසද විඳියි. මොහය නැති කල්හි තමන්ට දුක් පිණිස නොසිතයි. අනුන්ට දුක් පිණිස නොසිතයි. තමහට හා අනුන්ටද දුක් පිණිස නොසිතයි. මානසික දුකත් දොම්නසත් නොවිඳියි.

“බමුණ, මොහයෙන් මඬනාලද්දේ මොහයෙන් විනාශ කරණලද සිත් ඇත්තේ කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. සිතින් දුසිරිතෙහි හැසිරෙයි. මොහය ප්‍රහීණවූ කල්හි කයින් දුශ්චරිතයෙහි නොහැසිරෙයි. වචනයෙන් දුශ්චරිතයෙහි නොහැසිරෙයි. සිතින් දුශ්චරිතයෙහි නොහැසිරෙයි. බමුණ, මොහයෙන් මඬනාලද්දේ මොහයෙන් විනාශ කරණ ලද්දේ ආත්මාර්ථයද තත්වූ පරිද්දෙන් නොදනී. පරාර්ථයද තත්වූ පරිද්දෙන් නොදනී, ආත්මාර්ථ පරාර්ථ දෙකද තත්වූපරිද්දෙන් නොදනී. මොහය නැති කල්හි ආත්මාර්ථයද තත්වූ පරිද්දෙන් දනී. පරාර්ථයද තත්වූ පරිද්දෙන් දනී. ආත්මාර්ථ පරාර්ථ දෙකද තත්වූ පරිද්දෙන් දනී.

(මේ ඡෙදය මේ සූත්‍රයේ 5 ඡෙදය මෙනි)

(මේ ඡෙදය මේ වර්ගයේ 3 සූත්‍රයේ 14 ඡෙදය මෙනි.)