අංගුත්තර නිකාය
එක නිපාතය
6. බ්‍රාහ්මණ වර්ගය
55. සන්දිට්ඨික නිබ්බාන සූත්‍රය
ඉක්බිත්තෙන් වනාහි ජානුස්සෝණි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ජානුස්සොණී බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයන් වහන්ස, නිර්වාණය තමන් විසින් දැක්ක යුතුයි, කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කොපමණකින් වනාහි නිර්වාණය තමන් විසින් දැක්කයුතු වේද, කල් නොයවා පැමිණිය යුතු වේද, එව බලවයි පෙන්විය හැකි වේද ප්‍රතිපත්තියෙන් පැමිණිය යුතු වේද, පණ්ඩිතයන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වේදැයි” ඇසූයේය.
(මේ ඡෙදය මේ වර්ගයේ 3 සූත්‍රයේ 2 සිට 13 ඡෙද මෙනි. මේ ඡෙදවල ‘ධර්මය’ යන්නට ‘නිර්වාණය’ කියා යොදාගත යුතුය.)
“බමුණ, මෙසේ වනාහි නිර්වාණය තමන් විසින් දැක්ක යුතුය. බමුණ යම් කලක පටන් මේ නිරවශෙෂ වශයෙන් තෘෂ්ණාව ක්ෂය කිරීමයයි කියන ලද නිර්වාණ රසය විඳීද, නිරවශෙෂ වශයෙන් ද්වෙෂය ක්ෂයකිරීමයයි කියනලද නිර්වාණ රසය විඳීද, නිරවශෙෂ වශයෙන් මොහය ක්ෂයකිරීමයයි කියනලද නිර්වාණ සැපය විඳීද, බ්‍රාහ්මණය මෙසේ වනාහි නිර්වාණය තමන් විසින් දැකියයුතු වෙයි. කල් නොයවා පැමිණිය යුතු වෙයි. එව බලවයි පෙන්විය හැකි වෙයි. ප්‍රතිපත්තියෙන් පැමිණිය යුතු වෙයි. පණ්ඩිතයන් විසින් තමන් කෙරෙහිලා දතයුතු වෙයි.