අංගුත්තර නිකාය
එක නිපාතය
8. ආනන්ද වර්ගය
74. “අභය (ලිච්ඡවී) සූත්‍රය
එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේ විශාලානුවර මහවනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කරති. එකල්හි අභය නම් ලිච්ඡවි තෙමේද පණ්ඩිත කුමාර නම් ලිච්ඡවි තෙමේද ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියෝය. පැමිණ ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වැඳ එක්පසෙක හිඳගත්හ.
“එක්පසෙක හිඳගත් අභය නම් ලිච්ඡවි තෙමේ ආනන්දස්ථවිරයන්ට මෙසේ කීය, “ස්වාමීනි, නිගණ්ඨනාතපුත්‍ර තෙමේ යන්නාවූද සිටින්නාවූද, නිදන්නාවූද, මාහට සියලු කල්හි සර්වඥතාඥානය එළඹ සිටියේයයි’ සර්වඥ බව සියල්ල දක්නා ඥානය ඇතිබව නිරවශෙෂ ඥානයක් ඇති බව ප්‍රතිඥා කරයි. හෙතෙම තපස්කිරීමෙන් පුරාණ කර්ම ක්ෂය කරන බව ප්‍රකාශ කරයි. අලුත් කර්ම නොකිරීමෙන් හෙතු නැති කරන බව ප්‍රකාශ කරයි. ‘මෙසේ කර්ම ක්ෂය කිරීමෙන් දුක් ක්ෂය කිරීමද, දුක් ක්ෂය කිරීමෙන් වෙදනා ක්ෂය කිරීමද, වෙදනා ක්ෂය කිරීමෙන් සියලු දුක් දිරා යන්නේය, මෙසේ තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කරගත යුතුවූ කෙලෙසුන් දිරවීමයයි කියනලද විශුද්ධියෙන් සියලු දුක්ඛයන්ගේ ඉක්මවීම වේයයි’ කියයි.
“ස්වාමීනි, මේ කාරණයෙහි භාග්‍යවතුන්වහන්සේ කුමක් ප්‍රකාශ කරද්ද?” යනුයි.
“අභය, දන්නාවූ දක්නාවූ ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන්වහන්සේ විසින් සත්වයන්ගේ පිරිසිදුවීම පිණිස සොක පරිදෙවයන් ඉක්මවීම පිණිස ආර්‍ය්‍යමාර්ගය අවබොධ කිරීම පිණිස නිවන් ප්‍රත්‍යක්ෂ කරනු පිණිස මේ ජරාව නැති කරන්නාවූ පිරිසිදු වීම් තුනක් වදාරන ලදහ.
“අභය, මෙහි මහණතෙම සිල්වත් වේද ප්‍රාතිමොක්ෂ සංවර ශීලයෙන් යුක්තව ආචාර ගොචර දෙකින් සමන්විතව ශික්ෂා පදයන්හි දැඩි සමාදනයෙන් යුක්තව වාසය කරයිද, හෙතෙමේ අලුත් කර්ම නොකරයි. පුරාණ කර්ම විඳ විඳ කෙළවර කරයි.
“මෙයද තමන් විසින්ම දැක්ක යුතුවූ කල් නොයවාම ඵලදෙන ‘එව බලවයයි’ පෙන්විය හැකි තමන්වෙත එළවාගත යුතුවූ නුවණැතියන් විසින් වෙන වෙනම ප්‍රත්‍යක්ෂ කළ යුතුවූ නිර්ජර විශුද්ධියයි.
“අභය, මෙසේ ශීලයෙන් යුක්තවූ ඒ මහණ තෙමේ කාමයන්ගෙන් වෙන්වම, අකුසලයන්ගෙන් වෙන්වම (8 වෙනි සූත්‍රයේ 3, (iii) විතර්ක සහිත යන තැන සිට සතර වෙනි තැන දක්වා යොදාගත යුතුයි.) චතුර්ථද්ධ්‍යානයට පැමිණ වාසයකරයි. හෙතෙම අලුත් කර්ම නොකරයි පුරාණ කර්ම විඳ විඳ කෙළවර කරයි.
(මේ ඡෙදය මේ සූත්‍රයේ 5 වෙනි ඡෙදය මෙනි.)
“අභය, මෙසේ ශීලයෙන් යුක්තවූ මෙසේ සමාධියෙන් යුක්තවූ ඒ මහණ තෙමේ ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියත් අර්හත් ඵල ප්‍රඥාවත් තෙමේම විශෙෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරයි. හෙතෙමේ අලුත් කර්ම නොකරයි. පුරාණ කර්ම විඳ විඳ කෙළවර කරයි.
(මේ ඡෙදය මේ සූත්‍රයේ 5 ඡෙදය මෙනි.)
“අභය, මේ නිර්ජර විශුද්ධි තුන දන්නාවූ දක්නාවූ අර්හත්වූ සම්‍යක්සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන්වහන්සේ විසින් සත්වයන්ගේ පිරිසිදුවීම පිණිස සොකපරිදෙවයන් ඉක්මවීම පිණිස දුක් දොම්නස් දුරුකිරීම පිණිස මාර්ගය අවබොධ කිරීම පිණිස නිවන් ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස මනාකොට වදාරන ලදහයි” කීය.
“මෙසේ කී කල්හි පණ්ඩිත කුමාර ලිච්ඡවී තෙමේ අභය ලිච්ඡවී කුමාරයන්ගෙන් යහලු අභය, කිමෙක්ද ඔබ ආයුෂ්මත් ආනන්දස්ථවිරයන්වහන්සේ විසින් මනාකොට කියන ලද්ද මනාකොට කියන ලද්දක් වශයෙන් සතුටින් නොපිළිගන්නෙහිදැයි?” ඇසීය.
“යහලුව, මම කුමක් හෙයින් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්වහන්සේ විසින් මනාව කියනලද්ද මනාව කියන ලද්දක් වශයෙන් සතුටින් නොපිළිගන්නෙම්ද? යමෙක් ආයුෂ්මත් ආනන්දස්ථවිරයන්වහන්සේ විසින් මනාව කියන ලද්ද මනාව කියනලද්දක් වශයෙන් සතුටින් නොපිළිගන්නේ නම් ඔහුගේ හිසද පැලෙන්නේයයි” කීය.