අංගුත්තර නිකාය
එක නිපාතය
8. ආනන්ද වර්ගය
75. සමාදපෙතබ්බ සූත්‍රය
එකල්හි ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙම භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන්වහන්සේට වැඳ එක්පසක හිඳගත්තේය. එක්පසෙක හිඳගත් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළහ.
“ආනන්දය, සත්වයෙකුට අනුකම්පා කරන්නහුද, මිත්‍රයන් හෝ යහළුවන් හෝ නෑයන් හෝ සහ ලේ නෑයන් හෝ යම් කෙනෙකුන් ඇසියයුත්තන් කොට හඟින්නාහුද ආනන්දය ඔවුහු කරුණු තුනෙක්හි සමාදන් කරවිය යුත්තාහ. ඇතුළත්කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ. කිනම් කරුණු තුනෙක්හිද?
“ඒ භාග්‍යවතුන්වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්යහ. (විශාඛු පොසත සූත්‍රයෙහි 8 වෙනි ඡෙදයේ සම්‍යක් යන තැන සිට භාග්‍යවත්යයි යන තැන දක්වා යෙදිය යුතුයි.) භාග්‍යවත්හයයි බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙහි සමාදන් කරවිය යුත්තාහ. ඇතුල්කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ.
“භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාව දෙශනා කරන ලදී. (වීශාඛුපොසත සූත්‍රයෙහි 13 වෙනි ඡෙදයෙහි භාග්‍යවතුන් යන තැන සිට ඔපනයිකය යන තැන දක්වා යෙදිය යුතුයි) නුවණැතියන් විසින් වෙන වෙනම දතයුත්තේයයි ධර්මය කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙහි සමාදන් කරවිය යුත්තාහ. ඇතුල්කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ.
“භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම මනාව පිළිපන්නේය. (විශාඛු පොසත සූත්‍රයෙහි 18 ඡෙදයේ භාග්‍යවත්හුගේ යන තැනසිට කරණීය වෙයි දක්වා යෙදිය යුතුය.) ලොකයාගේ අනුත්තර පුන්‍යක්ෂෙත්‍රය වන්නේයයි සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙහි සමාදන් කරවිය යුත්තාහ. ඇතුල්කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ.
“ආනන්දය, පඨවී ධාතු, ආපො ධාතු, තෙජො ධාතු, වායො ධාතු යන සතරමහා භූතයන්ගේ පෙරලීමක් වුවත් බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුත් ඒ ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ පෙරලීමක් නොවන්නේය. එනම් ආනන්දය බුදුන් කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්තවූ ඒ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ නිරයෙහි හෝ තිරිසන් යොනියෙහි හෝ ප්‍රෙත විෂයෙහි හෝ උපදින්නේය යන මීට හෙතු නැත්තේය.
“ආනන්දය, පඨවී ධාතු ආපෝ ධාතු තෙජො ධාතු වායෝ ධාතු යන සතරමහා භූතයන්ගේ පෙරලීමක් වුවත් ධර්මයෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවකයාගේ පෙරලීමක් නොවන්නේය. එනම් ධර්මයෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම නිරයෙහි හෝ තිරිසන් යොනියෙහි හෝ ප්‍රෙතවිෂයෙහි හෝ උපදින්නේය යන මීට හෙතු නැත්තේය.
“ආනන්දය, පඨවී ධාතු ආපෝ ධාතු තෙජො ධාතු වායො ධාතු සතරමහා භූතයන්ගේ පෙරළීමක් වුවත් සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ පෙරලීමක් නොවන්නේය. එනම් සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුත් ආර්‍ය්‍ය ශ්‍රාවකයා නිරයෙහි හෝ තිරිසන් යොනියෙහි හෝ ප්‍රෙතවිෂයෙහි හෝ උපදින්නේය යන මීට හේතු නැත්තේය.
“ආනන්දය, යමෙකුට අනුකම්පා කරන්නහුද? මිත්‍රයන් හෝ යාලුවන් හෝ නෑයන් හෝ සහ ලේ නෑයන් හෝ ඇසිය යුත්තන් කොට හඟින්නාහුද.
“ආනන්දය, ඔව්හු තොප විසින් මේ කරුණු තුනෙහි සමාදන් කරවිය යුත්තාහ. ඇතුල් කරවිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහු යයි” වදාළේය.