අංගුත්තර නිකාය

එක නිපාතය

9. සමණ වර්ගය

88. තෘතීය සික්ඛාත්තය සූත්‍රය

“(මේ ඡෙදය මේ වර්ගයේ 35 සූත්‍රයේ 1 ඡෙදය මෙනි.)

“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සීලය සම්පූර්ණ කරන්නේ වෙයිද, සමාධිය සම්පූර්ණ කරන්නේ වෙයිද, ප්‍රඥාව සම්පූර්ණ කරන්නේ වෙයිද, හෙතෙම යම් ඒ කුඩා අනුකුඩා ශික්ෂාපද කෙනෙක් වෙත්ද ඒ ශික්ෂාපදයන්ගෙන් වරදට පැමිණෙන්නේද වෙයි නැගිටින්නේද වෙයි. ඊට හේතු කවරේද?

“මහණෙනි, එහි මාර්ගඵලයන්ට නුසුදුසු බවක් නොකියන ලදී. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට සුදුසුවූ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූ යම් ශික්ෂාපද කෙනෙක් වෙත්ද, එහි නිත්‍ය සිල් ඇත්තේද වෙයි. පිහිටි සිල් ඇත්තේද වෙයි, ශික්ෂාපදයන්හි සමාදන්ව හික්මෙයි. හෙතෙම ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් අර්හත්ඵල සමාධියත් අර්හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේම විශෙෂ නුවණින් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසයකරයි.

“ඊට නොපැමිණෙන්නේ එය ප්‍රතිවෙධ නොකරන්නේ ඔරම්භාගිය සංයොජන පස ක්ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායි නම් පුද්ගලයා වෙයි.

“ඊට නොපැමිණෙන්නේ එය ප්‍රතිවෙධ නොකරන්නේ ඔරම්භාගිය සංයොජන පස ක්ෂයකිරීමෙන් උපහච්ච පරිනිබ්බායි නම් අනාගාමී පුද්ගලයා වෙයි

“ඊට නොපැමිණෙන්නේ එය ප්‍රතිවේධ නොකරන්නේ අසංඛාර පරිනිබ්බායී නම් අනාගාමි පුද්ගලයා වෙයි.

‘ඊට නොපැමිණෙන්නේ එය ප්‍රතිවෙධ නොකරන්නේ සසංඛාර පරිනිබ්බායී නම් අනාගාමී පුද්ගලයා වෙයි.

“ඊට නොපැමිණෙන්නේ එය ප්‍රතිවෙධ නොකරන්නේ උද්ධං සොත අකනිට්ඨාගාමී නම් අනාගාමි පුද්ගලයා වෙයි.

ඊට නොපැමිණෙන්නේ එය ප්‍රතිවෙධ නොකරන්නේ සංයොජන තුනක් ක්ෂය කිරීමෙන් රාගදොස බාගයක් තුනීවූ හෙයින් සකෘදාගාමි නම් වෙයි. වරක් මේ කාමලොකයට පැමිණ දුක් කෙළවර කරයි.

“ඊට නොපැමිණෙන්නේ එයප්‍රතිවෙධ නොකරන්නේ සංයොජන තුනක් ක්ෂය කිරීමෙන් කෝලංකෝල නම් සෝවාන් පුද්ගලයා වෙයි. භව දෙක තුනක සැරිසරා දුක් කෙළවර කරයි.

“ඊට නොපැමිණෙන්නේ එය ප්‍රතිවෙධ නොකරන්නේ, සත්තක්ඛත්තු පරම නම් සොතාපන්නයා වෙයි. සත්වරක් දෙව්ලොවද මිනිස් ලොවද සැරිසරා දුක් කෙළවර කරයි.

“මහණෙනි, මෙසේ වනාහි සම්පූර්ණ කරන්නේ සම්පූර්ණයෙන් ලබයි. කොටසක් පුරන්නේ කොටසක් ලබයි. මහණෙනි මෙසේ වනාහි ශික්ෂාපද නොවඳයයි කියමි.”