අංගුත්තර නිකාය

එක නිපාතය

9. සමණ වර්ගය

89. චතුත්ථ සික්ඛත්තය සූත්‍රය

“මහණෙනි, මේ ශික්ෂා තුනෙකි. කවර තුනක්ද? අධිශීල ශික්ෂාවද, අධි චිත්ත ශික්ෂාවද, අධි ප්‍රඥා ශික්ෂාවද වෙයි. මහණෙනි, අධි ශීල ශික්ෂාව කවරේද?

“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සිල් ඇත්තේවෙයිද ප්‍රාතිමොක්ෂය සංවර සීලයෙන් සංවරව ආචාර ගොචර දෙකින් සමන්විතව කුඩා වරදෙහි පවා භය දක්නා සුලුව ශික්ෂා පදයන්හි දැඩිව ගෙන හික්මෙයිද, මහණෙනි මෙය අධිශීල ශික්ෂාවයයි කියනු ලැබේ.

“මහණෙනි, අධිචිත්ත ශික්ෂාව කවරේද? මහණෙනි, මෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම, අකුසලයන්ගෙන් වෙන්වම විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මෙය අධිචිත්ත ශික්ෂාවයයි කියනු ලැබේ.

මහණෙනි, අධි ප්‍රඥා ශික්ෂාව නම් කවරේද? මහණෙනි, මෙහි මහණ තෙම මෙය දුකයයි තත්වූ පරිදි දනීද මේ තෘෂ්ණාව දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනී. මේ නිවණ දුක් නැතිවන තැනයයි තත්වූ පරිද්දෙන් දනී. මෙය දුක්ඛ නිරොධගාමිනී ප්‍රතිපදාවයයි තත්වූ පරිදි දනීද, මහණෙනි, මෙය අධිප්‍රඥා ශික්ෂාවයයි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි ත්‍රි ශික්ෂාව වෙයි.