අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
3. තුන්වෙනි පණ්ණාසකය
(12) 2. කෙසී වර්‍ගය
4. පතොදච්ඡායා සූත්‍රය
’’මහණෙනි, අඞ්ග සතරකින් යුක්තවූ, රාජභොගවූ, රජුට සුදුසු, රජුගේ ඇතා අඞ්ගයක යන සංඛ්‍යාවට යයි. කවර සතරකින්ද යත්. මහණෙනි, මේ ලෝකයෙහි රජුගේ ඇත්තෙමේ අසන්නේද වේ, නසන්නේද වේ. ඉවසන්නේද වේ. යන්නේද වේ. මහණෙනි, මේ ලෝකයෙහි රජුගේ ඇත්තෙම් ඔහුට ඇතුන් දමනය කරන්නා ඉදින් කරණ ලද්දාවූ හෝ ඉදින් නොකරණ ලද්දාවූ හෝ දඬුවම් කරයිද, එය සිහි කොට, මෙනෙහි කොට, සියල්ල සිතට නඟා, නැමූ කන් ඇත්තේ අසයිද, මහණෙනි, රජුගේ මෙබඳු ඇත්තෙම අසන්නේ වේ.
’’මහණෙනි, කෙසේ රජුගේ ඇත්තෙම නසන්නේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි රජුගේ ඇත්තෙම යුද්‍ධයට ගියේ ඇතාද නසයි. ඇතරුවාද නසයි. අශ්වයාාද නසයි, අසරුවාද නසයි. රියද නසයි. රියේ සිටියවුන්ද නසයි. පාබල හමුදාවද නසයි. මහණෙනි, රජුගේ මෙබඳු ඇත්තෙමේ නසන්නේ වේ.
’’මහණෙනි, කෙසේ රජුගේ ඇත්තෙම ඉවසන්නේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි රජුගේ ඇත්තෙම් යුද්‍ධයට ගියේ ඇත් පහරවල්, ඊ පහරවත්, කඩු පහරවල්, පොරෝ පහරවල්, බෙර, පනා බෙර, සක්, ගැට බෙර ශබ්දද, මිශ්‍ර ශබ්දද ඉවසන්නේ වේ. මහණෙනි, රජුගේ මෙබඳු ඇත්තෙමේ ඉවසන්නේ වේ.
’’මහණෙනි, කෙසේ රජුගේ ඇත්තෙම යන්නේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි රජුගේ ඇත් තෙමේ ඇතුන් දමනය කරන්නා යම් ගිය හෝ නොගිය දිශාවකට යවයිද, එහි වහා යන්නේ වේද, මහණෙනි, මෙසේ රජුගේ ඇත්තෙම යන්නේ වේ. මහණෙනි, මේ අඞ්ග සතරින් යුත් රජුගේ ඇත්තෙම රජුට සුදුසු වේ. රාජ භොගය, රජුගේ අඞ්ගයකැයි යන සංඛ්‍යාවට යයි. මහණෙනි, එසේම කරුණු සතරකින් යුක්ත මහණ තෙම ආහුණෙය්‍යවේ. ඈතට ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍ය වේ. දක්‍ෂිණාවට සුදුසු වේ. අඤ්ජලීකරණය හෙවත් දෑත් හිස තබා වැඳීමට යෝග්‍ය වේ. දුර සිට අවුත් පිදීමට යෝග්‍ය වේ. ලෝකයාගේ නිරුත්තර පින් කෙතය. කවර සතරකින්ද යත්,
’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම අසන්නේ වේද, නසන්නේ වේද, ඉවසන්නේ වේද, යන්නේ වේද, මහණෙනි, කෙසේනම් මහණ තෙම අසන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම බුදුන් වදාළ ධර්‍ම විනය දෙසන කල්හි ඇති කොට, මෙනෙහි කොට, මුළු සිතින් සිහි කොට, ඊට යෙදූ කන් ඇත්තේ බණ අසයි. මහණෙනි, මෙසේ මහණ තෙම අසන්නේ වේ.
’’මහණෙනි, කෙසේනම් මහණ තෙම නසන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම උපන් කාම විතර්‍කය නොඉවසයි. දුරු කරයි. අත්හරියි. වැයට පමුණුවයි. නොවීමට යවයි. උපන් ව්‍යාපාද විතර්‍කය නොඉවසයි. දුරු කරයි. අත්හරියි. අන්තභාවයට යයි. අභාවයට යයි. උපන් විහිංසා විතර්‍කය නොඉවසයි. දුරු කරයි. අත්හරියි. අන්තභාවයට යයි. අභාවයට යයි. උපනුපන් ලාමක අකුශල ධර්‍මයන් නොඉවසයි. දුරු කරයි. අත්හරියි. අන්තභාවයට යයි. අභාවයට යයි. මහණෙනි, මෙසේ මහණ තෙම නසන්නේ වේ.
’’මහණෙනි, කෙසේ මහණ තෙම ඉවසන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සීතය, ඌෂ්ණය, බඩගින්න, පිපාසය, ඩැහැ ලේ බොන මැස්සෝය, මදුරුවෝය, වාතය, දීර්‍ඝ ජාතීන්ගේ ස්පර්‍ශය, නපුරුව කියන ලද, නපුරු ලෙස ආ වචනයෝය, දුක්වූ, තියුණුවූ, ක්‍රූරවූ, කටුකවූ, යහපත් නොවූ, අමනාපවූ, ප්‍රාණය නැතිවන, ශාරීරික වේදනා ඉවසන සුළු වේද, මහණෙනි, මෙසේ මහණ තෙම ඉවසන්නේ වේ.
’’මහණෙනි, කෙසේ මහණ තෙම යන්නේ වේද, මහණෙනි, මේ ශාසනයේ මහණ තෙම යම් දිශාවකට නොගිය විරූද, මේ දීර්‍ඝ කාලයෙන් යම් මේ සර්‍ව සංස්කාරයන්ගේ සංසිඳුවීමක් වේද, තෘෂ්ණා ක්‍ෂයක් වේද, නොඇලීමක් ඇද්ද, නිරුද්‍ධවීමක් ඇද්ද, නිවණක් ඇද්ද, ඊට වහා යන්නේ වේ.
’’මහණෙනි, මෙසේ මහණ තෙම යන්නේ වේ. මහණෙනි, මේ කරුණු සතරින් යුක්තවූ මහණ තෙමේ ඈතට ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යවේ. දක්‍ෂිණාවට සුදුසු වේ. අඤ්ජලීකරණය හෙවත් දෑත් හිස තබා වැඳීමට යෝග්‍ය වේ. ලෝකයාගේ නිරුත්තර පුන්‍යක්‍ෂෙත්‍රය.’’