අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

3. තුන්වෙනි පණ්ණාසකය

(13) 3. භය වර්‍ගය

8. තථාගතබ්භූත සූත්‍රය

’’මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේගේ පහළවීමෙන් සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් පහළවෙත්. කවර සතරක්ද යත්.

’’මහණෙනි, මේ ප්‍රජාව තෘෂ්ණාවෙහි ඇලුනාහ. තෘෂ්ණාවෙහි කැමති වූවාහුය. තෘෂ්ණාවෙන් ප්‍රීති වූවාහුය. ඒ ප්‍රජා තොමෝ තථාගතයන් වහන්සේගේ පරිත්‍යාගය ගැන බණ කියද්දී ඇසිය යුත්තක් කොට සිතයි. කණ යොමුකරයි. දැන ගැනීමට සිත එලවයි. තථාගත අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේගේ පහළවීමෙන් මේ පළමුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය පහළ වෙයි.

’’මහණෙනි, මේ ප්‍රජාව මානයෙහි ඇලෙයි. මානයෙහි රතිය උපදවයි. මානයෙන් කැමතිවෙයි. ඒ ප්‍රජාව තථාගතයන් වහන්සේ විසින් මාන ප්‍රහාණයට බණ දෙසද්දී ඇසිය යුතු කොට සිතයි. කණ යොමුකරයි. දැන ගැනීමට සිත එලවයි. මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේගේ පහළවීමෙන් මේ දෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ස්වභාවය ලෝකයෙහි පහළවෙත්.

’’මහණෙනි, ප්‍රජාව සසරෙහි ඇලුනේය. සසරෙහි රතිය උපදවයි. සසරට කැමතිවෙයි. ඒ ප්‍රජාව තථාගතයන් වහන්සේ විසින් නිවන ගැන කරුණු දෙසද්දී ඇසිය යුත්තක් කොට සිතයි. කණ නමයි. දැන ගැනීම පිණිස සිත පිහිටුවයි. මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේගේ පහළවීමෙන් මේ තුන්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ස්වභාවය ලෝකයෙහි පහළවේ.

’’මහණෙනි, ප්‍රජාව අණ්ඩයක් වැනි අවිද්‍යාවට අයත්වූවාය. වැළඳගත්තාය. ඒ ප්‍රජාව තථාගතයන් වහන්සේ අවිද්‍යා ප්‍රහාණය කරණ ධර්‍මය දෙසද්දී ඇසිය යුත්තක් කොට සිතයි. කණ නමයි. දැන ගැනීමට සිත පිහිටුවයි. මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේගේ පහළවීමෙන් මේ සතරවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය පහළවේ.

මහණෙනි, තථාගත අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේගේ පහළවීමෙන් මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ පහළවෙත්.’’