අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
3. තුන්වෙනි පණ්ණාසකය
(13) 3. භය වර්‍ගය
9. ආනන්‍දබ්භූත සූත්‍රය
’’මහණෙනි, අනඳ තෙරුන් කෙරෙහි මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙණෙක් වෙත්. කවර සතර කෙනෙක්ද යත්?
’’මහණෙනි, ඉදින් භික්‍ෂු පිරිසක් ආනන්‍ද ස්ථවිරයන් දකින්ට පැමිණේද, දැකීමෙන් සතුටුවෙයි. ඔවුන්ට එහිදී ආනන්‍ද ධර්‍ම දේශනා කරයි. වදාළ කල්හිද ඒ පිරිස සතුටුවූවාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂු පිරිස තෘප්තනුවූවාහුම වෙත්. ඉක්බිති ආනන්‍ද තූෂ්ණීම්භූත වේ.
’’මහණෙනි, ඉදින් භික්‍ෂුණී පිරිසක් අනඳ බලන්ට පැමිණේද, දැකීමෙන් සතුටුවේද, ඔවුන්ට එහිදී අනඳ බණ වදාරයිද, දෙසූ කල්හිද සතුටුවේද, මහණෙනි, භික්‍ෂුණී පිරිස අතෘප්ත වේද, නැවත ඇනන්‍ද තූෂ්ණීම්භූත වේද,
’’ඉදින් මහණෙනි, උපාසක පිරිසක් ආනන්‍ද ස්ථවිරයන් දකින්නට පැමිණේද, දැකීමෙන් සතුටුවේද, ඔවුන්ට එහිදී ආනන්‍ද ධර්‍ම දේශනා කරයිද, වදාළ කල්හිද ඒ පිරිස සතුටු වෙත්ද, මහණෙනි, උපාසක පිරිස අතෘප්තවූයේ වේද, නැවත ආනන්‍ද තෙමේ තූෂ්ණීම්භූත වේද,
’’මහණෙනි, ඉදින් උපාසිකා පිරිසක් ආනන්‍ද ස්ථවිරයන් දකින්නට පැමිණෙත්ද, දැකීමෙන් ඒ පිරිස සතුටුවූවා වේද, ඉදින් එහි ආනන්‍ද ස්ථවිරයන් බණ වදාරයි. ඒ පිරිස කීමෙන් සතුටුවෙයි. මහණෙනි, උපාසිකා පිරිස අතෘප්ත වූයේම වේ. ඉක්බිති ආනන්‍ද ස්ථවිරයන් තූෂ්ණීම්භූත වේ.
’’මහණෙනි, ආනන්‍ද ස්ථවිරයන් කෙරෙහි මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ වෙත්.’’