අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
3. තුන්වෙනි පණ්ණාසකය
(15) 5. ආභා වර්‍ගය
7. භාවියමාන සූත්‍රය
’’මහණෙනි, මේ කාලයෝ සතර දෙනෙක් මනාකොට වඩනු ලබන්නේ, මනාකොට නැවත නැවත පෙරලන ලද්දේ, ක්‍රමයෙන් ආශ්‍රවයන් ක්‍ෂයට පමුණුවයි. කවර සතරක්ද යත්, සුදුසු කාලයෙහි ධර්‍ම ශ්‍රවණය, සුදුසු කාලයෙහි ධර්‍ම සාකච්ඡාව, සුදුසු කාලයෙහි සමථය, සුදුසු කාලයෙහි විදර්‍ශනාව යන සතරයි. මහණෙනි, මේ සතර කාලයෝ මනාකොට භාවිතා කරණ ලද්දේ, මනාකොට නැවත නැවත කරණ ලද්දේ, ක්‍රමයෙන් ආශ්‍රවයන්ගේ ක්‍ෂයයට පැමිණෙත්.
’’මහණෙනි, යම්සේ පර්‍වතයක් මුදුනෙහි මහත්කොට ස්පර්‍ශ කරණ ලද වර්‍ෂාව වස්නා කල්හි ඒ ජලය පහත් භූමි කරා යන්නේ, පර්‍වත කඳුරු ප්‍රදර ශාඛාවන් පුරවත්. පර්‍වත කන්‍දර ප්‍රදරශාඛාවන් සම්පූර්‍ණවීමෙන් කුඩා වලවල් පුරවත්. කුඩා වලවල් පිරවීමෙන් මහ වලවල් පුරවත්. මහ වලවල් පිරීමෙන් කුඩා නදීහු පරවත්. කුඩා නදීහු පිරීමෙන් මහා නදී පුරවත්. මහා නදී පිරීමෙන් සමුද්‍ර සංඛ්‍යාත සාගරය පුරවත්. මහණෙනි, එසේම මේ සතර කාලයෝ මනාකොට වඩනු ලබන්නාහු, මනාකොට පෙරලනු ලබන්නාහු, ක්‍රමයෙන් ආශ්‍රවයන් ක්‍ෂයට පමුණුවත්.’’