අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
4. හතරවෙනි පණ්ණාසකය
(18) 3. සඤ්චෙතනිය වර්‍ගය
1. සඤ්චෙතනා හෙතුක සූත්‍රය
’’මහණෙනි, කය හෝ ශරීරයේ සිතුවිලි හේතුවූ කල්හි අධ්‍යාත්මයෙහි සැප දුක උපදී. මහණෙනි, වචනයාගේ හෝ වාග් සඤ්චෙතනාවගේ හේතුවෙන් අධ්‍යාත්මයෙහි සැප දුක් උපදී. මහණෙනි, සිත් හා මනො සංචෙතනා හේතුවෙන් හෝ අවිද්‍යා හේතුවෙන් හෝ අධ්‍යාත්මයෙහි සැප දුක් උපදී.
’’යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි සැප දුක් උපදීද, ඒ කාය සංස්කාරය තමා හෝ සකස් කරයි. යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි සුව දුක් උපදීද, ඒ කාය සංස්කාරය අනුන් හෝ රැස් කරයි. යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි සුව දුක් පහළවේද, සම්‍යක් ප්‍රඥාවෙන් හෝ ඒ කාය සංස්කාරය රැස්කරයි. යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි සැප දුක් පහළවේද, නොසිහියෙන් හෝ ඒ කාය සංස්කාරය රැස් කරයි.
’’යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි ඒ සුව දුක් පහළවේද, තෙමේ හෝ ඒ වාග් සංස්කාරය රැස්කරයි. යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි ඒ සුව දුක් පහළවේද, මහණෙනි, අනුන් හෝ ඒ වාග් සංස්කාරය රැස්කරයි. යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි ඒ සුව දුක් පහළවේද, සම්‍යක් ප්‍රඥාවෙන් හෝ ඒ වාග් සංස්කාරය රැස්කරයි. යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි ඒ සුව දුක් පහළවේද, නොසිහියෙන් හෝ මහණෙනි, ඒ වාග් සංස්කාරය රැස්කරයි.
’’යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි ඒ සුව දුක් පහළවේද, තෙමේ හෝ මහණෙනි, ඒ මනො සංස්කාරය රැස්කරයි. යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි ඒ මනො සංස්කාරය පහළවේද, අනුන් හෝ මහණෙනි, ඒ මනො සංස්කාරය රැස්කරයි. යමක් ප්‍රත්‍යය වීමෙන් ඒ මනො සංස්කාරය පහළවේද, සම්‍යක් ප්‍රඥාවෙන් හෝ ඒ මනො සංස්කාරය රැස්කරයි. යමක් ප්‍රත්‍යය වීමෙන් ඒ මනො සංස්කාරය පහළවේද, නොසිහියෙන් හෝ, මහණෙනි, ඒ මනො සංස්කාරය රැස්කරයි.
’’යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි ඒ සුව දුක් පහළවේද, මේ ධර්‍මයන්හි අවිද්‍යාව පතිතවූවාය. අවිද්‍යාවගේම ඉතුරු නොකොට නිරුද්‍ධවීමෙන්, යමක් හේතුකොටගෙන අධ්‍යාත්මයෙහි සුව දුක් උපදීද, ඒ ශරීරය නොවේ. යමක් ප්‍රත්‍යය වීමෙන් අධ්‍යාත්මයෙහි සුව දුක් උපදීද, ඒ වචනයෝ නොවෙත්. යමක් ප්‍රත්‍යයවීමෙන් අධ්‍යාත්මයෙහි සුව දුක් උපදීද, ඒ සිත නොවේ. යමක් හේතු කොට ගෙන අධ්‍යාත්මයෙහි සුව දුක් උපදීද, ඒ ක්‍ෂෙත්‍රය නොවේ. ඒ වස්තුව නොවේ. ඒ ආයතනය නොවේ. ඒ ආධාරය නොවේ.’’