අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

4. හතරවෙනි පණ්ණාසකය

(18) 3. සඤ්චෙතනිය වර්‍ගය

2. අත්තභාව පටිලාභ සූත්‍රය

’’මහණෙනි, මේ ආත්මභාවයන්ගේ ලැබීම් සතරෙකි. කවර සතරක්ද යත්. මහණෙනි, යම් ආත්ම භාවයෙක්හි තමා ගැන සිතීම කෙරයිද, අනුන් ගැන සිතීම නොකරයිද, එබඳු ආත්මභාවයක ලැබීමක් ඇත. මහණෙනි, යම් ආත්මභාවයක අනුන් ගැන සිතයිද, තමා ගැන නොසිතයිද, එබඳු ආත්මභාව ප්‍රතිලාභයක් ඇත. මහණෙනි, යම් ආත්මභාවයෙක්හි තමා ගැන සිතීමද, අනුන් ගැන සිතීමද කරයි. එබඳු ආත්මභාව ප්‍රතිලාභයක් ඇත. මහණෙනි, යම් ආත්මභාවයෙක්හි තමා ගැනද නොසිතයි. අනුන් ගැනද නොසිතයි. එබඳු ආත්මභාවයක් ඇත. මහණෙනි, මේ සතර ආත්මභාවයෝයි.

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්‍ෂෙපයෙන් වදාරණ ලද මොහුගේ වනාහි විස්තර වශයෙන් අර්ත්‍ථය දනිමි’’ යි කීයේය.

’’ස්වාමීනි, එහි යම් මේ ආත්මභාව ප්‍රතිලාභයෙක්හි තමා ගැන සිතයිද, අනුන් ගැන නොසිතයිද, තමා ගැන සිතීම හේතුවෙන් ඒ සත්ත්‍වයන් ඒ ශරීරයෙන් චුතවෙයි. ස්වාමීනි, එහි යම් මේ ආත්මභාව ප්‍රතිලාභයක් වේද, යම් ආත්මභාව ප්‍රතිලාභයෙක්හි අනුන් ගැන සිතයිද, තමා ගැන නොසිතයිද, අනුන් ගැන සිතීම හේතුවෙන් ඒ සත්ත්‍වයන් ඒ ශරීරයෙන් චුතවේ.

’’ස්වාමීනි, එහි යම් මේ ආත්මභාව ප්‍රතිලාභයෙක්හි, තමා ගැනද සිතයිද, අනුන් ගැනද සිතයිද, තමා ගැනද, අනුන් ගැනද සිතීම් හේතුවෙන් ඒ සත්ත්‍වයන් ඒ ශරීරයෙන් චුතවේ. ස්වාමීනි, එහි යම් මේ ආත්මභාව ප්‍රතිලාභයක් වේද, යම් ආත්මභාව ප්‍රතිලාභයෙක්හි තමා ගැනද නොසිතයිද, අනුන් ගැනද නොසිතයිද, එයින් කවර දෙවි කෙනෙක් දතයුත්තාහුද?’’ ’’ශාරීපුත්‍රය, ඉන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණි දෙවියෝ දත යුත්තාහ.’’

’’ස්වාමීනි, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍වයෝ ඒ ශරීරයෙන් චුතව, මේ ආත්මභාවයට එන සුළු ආගාමී පුද්ගලයෝ වෙත්ද, ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද? ’’ස්වාමීනි, යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍වයෝ ඒ ශරීරයෙන් චුතවූවාහු, මේ ආත්මභාවයට නොඑන සුළු (අනාගාමී) පුද්ගලයෝ වෙත්ද, ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද?

’’ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට කාමධාතුව භජනය කරණ (බැමි) සංයෝජන ප්‍රහීන නොවූවාහු වෙත්ද, හෙතෙම මේ ආත්මභාවයෙහිම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. හෙතෙම එය ආස්වාදය කරයි. එය කැමති වෙයි. ඉන් තෘප්තියට පැමිණෙයි. එහි සිටියේ, ඊට බැසගත්තේ, එය බහුල වශයෙන් කරන්නේ, නොපිරිහුනේ, කළුරිය කරන්නේ, නෙවසඤ්ඤානාසඤ්ඤායතනට අයත් දෙවියන් හා සහභාගී බවට උපදියි. හෙතෙම ඉන් චුතවූයේ, මේ ආත්මයට එන සුළු (ආගාමී) පුද්ගලයෙක් වේ.

’’ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට කාමලෝකයට අයත් සංයෝජන ප්‍රහීනවූවාහු වෙත්ද, හෙතෙම මෙලොවම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. හෙතෙම එය ආස්වාදය කරයි. එය කැමති වෙයි. ඉන් තෘප්තියට පැමිණෙයි. එහි සිටියේ, ඊට බැසගත්තේ, එහි බහුල වශයෙන් වසන්නේ, නොපිරිහුනේ, කළුරිය කරන්නේ, නෙවසඤ්ඤානාසඤ්ඤායතනට අයත් දෙවියන් හා විසීමට පැමිණෙයි. හෙතෙම ඉන් චුතවූයේ, මේ ආත්මයට නොඑන සුළු (අනාගාමී) පුද්ගලයෙක් වේ. ශාරීපුත්‍රය, යම් කාරණයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍වයෝ, ඒ සත්ත්‍ව සමූහයෙන් වුතවූවාහු, මේ ආත්මයට එන සුළු ආගාමී පුද්ගලයෝ වේද, මේ ඊට හේතුවයි. මේ ඊට ප්‍රත්‍යයයි. යම් කරුණකින් මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍වයෝ ඒ සත්ත්‍ව කොටසින් චුතවූවාහු මේ ආත්මයට නොඑන සුළු අනාගාමීහු වෙත්ද, ශාරීපුත්‍රය, මේ ඊට හේතුය. මේ ඊට ප්‍රත්‍යයයි.’’