අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

4. හතරවෙනි පණ්ණාසකය

(19) 4. යොධාජීව වර්‍ගය (බ්‍රාහ්මණ වර්‍ගය)

4. මරණ භායන සූත්‍රය

ඉක්බිති ජානුස්සෝනි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතුවූ, සිහිකටයුතුවූ කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය.

’’එකත්පසෙක සිටි ජානුස්සෝනි බ්‍රාහ්මණ තෙම, භාග්‍යවතුන් වහන්සේට, ’’භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි යමෙක් මරණය ස්වභාවකොට ඇත්තේ, මරණයට බිය නොවෙයිද, තැවීමට නොපැමිණෙයිද, හෙතෙම නැත්තේයයි, මෙබඳු වාද ඇත්තෙක්මි. මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි.

’’බමුණ, මරණය ස්වභාවකොට ඇත්තේ, මරණයට බිය වෙයිද, තැවීමට පැමිණෙයිද, (එවැන්නෙක්) ඇත්තේය, බමුණ, මරණ ස්වභාව ඇත්තේ, මරණයට බිය නොවෙයිද, තැවීමට නොපැමිණෙයිද, (එවැන්නෙක්) ඇත්තේය,

’’බමුණ, මරණය ස්වභාවකොට ඇත්තේ, මරණයට බිය වෙයිද, තැවීමට පැමිණෙයිද, ඒ කවරෙක්ද? බමුණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කාමයන්හි පහවූ රාග නැත්තේද,

’’පහ නොවූ කැමැත්ත ඇත්තේද, පහ නොවූ ප්‍රේමය ඇත්තේද, පහ නොවූ කාම පිපාසය ඇත්තේ වේද, පහ නොවූ දැවීම ඇත්තේ වේද, තෘෂ්ණාව ඇත්තේ වේද, ඔහු එක්තරා දැඩි රෝගයක් ස්පර්‍ශ කරයි.

’’එක්තරා දැඩිවූ රෝගයකින් ස්පර්‍ශ කළහුට ඒකාන්තයෙන් ප්‍රියවූ කාමයෝ, ’මා අත්හරිත්. මම ප්‍රිය කාමයන් අත්හරිනෙමි’ යි හෙතෙම ශොක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ලය අත් ගසා අඬයි. මුළාවට පැමිණෙයි. බමුණ, මේ තෙම මරණයට භය වෙයි. තැතිගැනීමට පැමිණෙයි.

’’බමුණ, නැවතද අන් කෙනෙක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් මරණය ස්වභාව කොට ඇත්තේ ශරීරයෙහි පහවූ රාග නැත්තේ වේද, පහ නොවූ කැමැත්ත ඇත්තේද, පහ නොවූ ප්‍රේමය ඇත්තේද, පහ නොවූ කාම පිපාසය ඇත්තේ වේද, පහ නොවූ දැවීම ඇත්තේ වේද, තෘෂ්ණාව ඇත්තේ වේද, ඔහු එක්තරා දැඩි රෝගයක් ස්පර්‍ශ කරයි.

’’දැඩිවූ රෝගයකින් ස්පර්‍ශ කළ ඔහුට ඒකාන්තයෙන් ප්‍රියවූ ශරීරය, ’මා අත්හරියි...මම ප්‍රිය ශරීරය අත්හරින්නෙමි.’’ හෙතෙම ශොක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ලය අත් ගසා අඬයි. මුළාවට පැමිණෙයි. බමුණ, මේ තෙමේද මරණ ස්වභාව ඇත්තේ මරණයට භය වෙයි. තැතිගැනීමට පැමිණෙයි.

’’බමුණ, නැවතද මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් නොකරණ ලද යහපතක් ඇත්තේ වේද, නොකරණ ලද කුශලයක් ඇත්තේ වේද, බියට නොකළ ආරක්‍ෂාවක් ඇත්තේද, කරණලද පව් ඇත්තේ වේද, කරණ ලද කර්‍කශ කර්‍ම ඇත්තේ වේද, කරන ලද නපුරු අපිරිසිදු කර්‍ම ඇත්තේද, ඔහු එක්තරා දැඩි රෝගයක් ස්පර්‍ශ කරයි.

’’එක්තරා දැඩි රෝගයකින් ස්පර්‍ශ කළහුට මා විසින් ඒකාත්නතයෙන් යහපතක් නොකරණ ලදී. කුශලයක් නොකරණ ලදී. බියට ආරක්‍ෂාවක් නොකරණ ලදී. පාපයක් කරණ ලදී. කර්‍කශ කර්මයක් කරණ ලදී. අපිරිසිදු කර්මයක් කරණ ලදී. පින්වත, නොකරණ ලද. යහපත ඇති නොකරණ ලද, කුශල් ඇති නොකරණ ලද, බියට ආරක්‍ෂා ඇති කරණ ලද, පව් ඇති කරණ ලද, කර්‍කශ කර්‍ම ඇති කරණ ලද, අපිරිසිදු කර්‍ම ඇතියවුන්ගේ ගතිය යම්තාක්ද, ඒ ගතියට පරලොව යමි’ යි හෙතෙම ශොක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ලෙහි අත් ගසා අඬයි. මුළාවට පැමිණෙයි. බමුණ, මේ තෙමේද මරණ ස්වභාව කොට ඇත්තේ මරණයට බිය වෙයි. තැතිගැනීමට පැමිණෙයි.

’’බමුණ, නැවතද මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් සැක ඇත්තේ වේද, විචිකිච්ඡා ඇත්තේ වේද, සද්‍ධර්‍මයෙහි නිෂ්ටාවට නොගියේ වේද, ඔහු එක්තරා දරුණු රෝගයක් ස්පර්‍ශ කරයි.

’’එක්තරා දරුණු රෝගයකින් ස්පර්‍ශ කළහුට, මම ඒකාන්තයෙන් සැක ඇත්තේ වෙමි. විචිකිච්ඡා ඇත්තේ වෙමි. සද්‍ධර්‍මයෙහි නිෂ්ටාවට නොපැමිණියෙමි. හෙතෙම ශොක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ලෙහි අත් හපා අඬයි. මුළාවට පැමිණෙයි. බමුණ, මේ තෙමේද මරණ ස්වභාව ඇත්තේ මරණයට බිය වෙයි. සන්තාපයට පැමිණෙයි. බමුණ, මේ සතරදෙන මරණ ස්වභාව ඇත්තෝ මරණයට බිය වෙත්. තැති ගැනීමට පැමිණෙත්.

’’බමුණ, මරණය ස්වභාව කොට ඇති කවරෙක් හෝ මරණයට බිය නොවෙත්ද, තැතිගැනීමට නොපැමිණෙද්ද? බමුණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කාමයන්හි පහවූ රාග ඇත්තේ වේද,

’’පහවූ ඡන්‍දය ඇත්තේ වේද, පහවූ ප්‍රේමය ඇත්තේ වේද, පහවූ පිපාසය ඇත්තේ වේද, පහවූ දැවිල්ල ඇත්තේ වේද, පහවූ තෘෂ්ණාව ඇත්තේ වේද, ඔහු එක්තරා දරුණු රෝගයක් ස්පර්‍ශ කරයි.

’’එක් දරුණු රෝගයකින් ස්පර්‍ශ කළ ඔහුට ඒකාන්තයෙන්, ’මා ප්‍රිය කාමයෝ අත්හරිත්. මම ප්‍රිය කාමයන් අත්හරින්නෙමි’ යි මෙසේ නොවේ. හෙතෙම ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. විලාප නොකියයි. ළය දෙඅත් බදා නොහඬයි. මුළාවට නොපැමිණෙයි. බමුණ, මේ තෙම මරණ ස්වභාව ඇත්තේ, මරණයට බිය නොවෙයි. තැතිගැනීමට නොපැමිණෙයි.

’’බමුණ, නැවත අනිකක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ශරීරයෙහි පහවූ රාග ඇත්තේ වේද, පහවූ ඡන්‍දය ඇත්තේ වේද, පහවූ ප්‍රේමය ඇත්තේ වේද, පහවූ පිපාසය ඇත්තේ වේද, පහවූ දැවිල්ල ඇත්තේ වේද, පහවූ තෘෂ්ණාව ඇත්තේ වේද, ඔහු එක්තරා දරුණු රෝගයක් ස්පර්‍ශ කරයි.

’’එක්තරා දරුණු රෝගයකින් ස්පර්‍හ කළහුට ඒකාන්තයෙත්, ’මා ප්‍රියවූ ශර්රය අත්හරින්නේය. මම ප්‍රිය ශරීරය අත්හරින්නෙමි’ යි මෙසේ වේ. හෙතෙම ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැලපෙයි. ළෙහි අත් ගසා නොහඬයි. මුළාවට නොපැමිණෙයි. බමුණ, මේ තෙමේ මරණ ස්වභාව ඇත්තේ, මරණයට බිය නොවෙයි. තැතිගැනීමට නොපැමිණෙයි.

’’බමුණ, නැවත අනිකක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් නොකරණ ලද පවක් ඇත්තේ වේද, නොකරණ ලද කර්‍කශ කර්‍ම වේද, නොකරණ ලද අපිරිසිදු කර්‍ම වේද, කරණ ලද යහපත ඇත්තේ වේද, කරණ ලද කුසල් ඇත්තේ වේද, කරණ ලද බියට පිළියම් ඇත්තේ වේද, ඔහු එක්තරා දරුණු රෝගයක් ස්පර්‍ශ කරයි.

’’එක්තරා දරුණු රෝගයකින් ස්පර්‍ශ කළාවූ ඔහුට ඒකාන්තයෙන් මා විසින් පාපයක් නොකරණ ලදී. අපිරිසිදු කර්‍මයක් නොකරණ ලදී. යහපතක් කරණ ලදී. කුශලයක් කරණ ලදී. බියට ප්‍රතිකර්‍මයක් කරණ ලදී. පින්වත, නොකළ පව් ඇති නොකළ කර්‍කශ කර්ම ඇති, නොකළ අපිරිසිදු කර්ම ඇති කරණ ලද යහපත ඇති කරණ ලද, කුසල් ඇති කරණ ලද බියට ප්‍රතිකර්ම ඇති අයට යම් ගතියක් ඇද්ද, ඒ ගතියට පරලොව යමි’ යි හෙතෙම ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැලපෙයි. ළෙහි දෙඅත් ගසා නොහඬයි. මුළාවට නොපැමිණෙයි. බමුණ, මේ තෙමේද මරණ ස්වභාව ඇත්තේම, මරණයට බිය නොවෙයි. තැතිගැනීමට නොපැමිණෙයි.

’’බමුණ, නැවතද මේ ලොකයෙහි ඇතැමෙක් සද්‍ධර්මයෙහි සැක නොකරන්නේ වේද, විචිකිච්ඡා නැත්තේ වේද, නිෂ්ටාවට ගියේද, ඔහු එක්තරා දරුණු රෝගයක් ස්පර්‍ශ කරයි.

’’එක්තරා දරුණු රෝගයක් ස්පර්‍හ කළ ඔහුට, ’ඒකාන්තයෙන් සද්ධර්මයෙහි සැක නොකෙළෙමි. විචිකිච්ඡා නැත්තෙමි. නිෂ්ටාවට පැමිණියෙමි. මෙසේ සිතයි. හෙතෙම මරණයට ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැලපෙයි. ළෙහි අත් බැඳ නොහඬයි. මුළාවට නොපැමිණෙයි. බමුණ, මේ තෙමේද මරණ ස්වභාව ඇත්තේම, සන්ත්‍රාසයට නොපැමිණෙයි. මහණෙනි, මරණ ස්වභාව ඇති මේ සතරදෙන මරණයට බිය නොවෙයි. තැතිගැනීමට නොපැමිණෙයි.’’